Pages

September 14, 2013

Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )


               මේ නැගෙනහිර සෝවියට් දේශයේ 1951 සැප්තැම්බර් දිනයකි. බටහිර බලා යන දුම්රියෙන් බැස ගන්නා විට සවස 4 පමණ වී තිබිණි. අවට පරිසරය හොඳින් ඒකාලෝක වී තිබුණු මුත් මා එයට ඇලුම් නොකළේ කිසිවෙකුට හෝ නොපෙනී දේශ සීමාව පැනගැනීමට එය බාධාවක් නිසාය. ගොම්මන් අඳුර වැටෙන තෙක් වහන් වී සිටීමට සිතා අසල ඇති බියර හලකට ගොඩ වැදුණි. සති කීපයක සිට හරි හැටි නින්දක් , කුසට අහරක් නොලබා සිටි බැවින් එහි වූ පුටුවකට බර වී කල්පනාවෙන් පසු වීමි.


                  වසර 8 ක් මුළුල්ලේ සිට නොයෙක් ආකාරයෙන් දේශසීමාවෙන් පළා යෑමට දැරූ ප්‍රයන්තයන් අද දින මල්පල ගැන්වෙනු ඇතැයි සිතා අඳුර වැටෙන තෙක් බලා උන්නෙමි. දෛවය සහ ඉරණම ගැන මෙනෙහි කරමින් මගේ දෙමව්පියන් හා සහෝදරයන් සමග එක් වීමට ලැබෙන මොහොත මනසේ සිතුවම් වන්නට විය. 1945 දී සෝවියට් රතු හමුදා කඩාවැටීමත් සමග දෑත සහ දෙපය ගැන පමණක් විස්වාසය තබමින් අනිත් සියල්ල අත්හැර පළා යන්නට සිදු වුයේ මුහුණට මුහුණ පැමිණෙන සතුරාද , මිතුරාද හඳුනාගැනීමට තරම් මානසිකත්වයක් අප කිසිවෙකුට නොවූ නිසාය.


            එලෙස ෆිවින්ටෙන්හෝර්ස්ට් ගම්මානයෙන් පළා ගිය වුන්ට නැවත තම උපන් ගමට පැමිණීම බෙහෙවින් අසීරු වූයේ දැඩි ලෙස මුරකාවල් යොදා ඇති දේශසීමා බාධක නිසාය. දේශසීමාවන්ට ඇතුල් වීමට ගොස් අසුවුවහොත් ලැබෙන්නේ නියත මරණයය.මා උපන් ගම්මානය අද වන විට පෝලන්තයේ ගම්මානයක් බවට පත් වී තිබේ.



මෙවැනි  ලිපියක් ලිවීමට සිත් වූයේ මනහර සඟරාවක පළ වී තිබු සිදුවීමක් නිසාය(2006/Nov.page 68). පසුව මවිසින් රූප සටහන් හා වෙනත් තොරතුරු ඇතුළත් කර නැවත සකසන ලදී. මෙහි ඇතුළත් වන්නේ මවිසින් සැකසු සටහනයි. මුල්ම සටහන ලියු කෙනෙක් ගැන එහි සඳහන් නොවීය . මුල් හිමිකරුට කතෘ අයිතිය හිමි වේ .

                                                                                      M.Shermiya Fernandezqe


                 1948 බ්‍රිතාන්‍ය යුධ සිරකරු කඳවුරෙන් මා නිදහස් කල දිනයේ සිට ජීවත් වූයේ බටහිර ජර්මනියේය. එසේ හිඳින අතරතුර මගේ පවුලේ අය කොහේ ඇතිදැයි සොයා ගැනීමට හැකි විය. පියා රෝගීව ඇති බවත් පවුලේ අනික් අය ඉතා අසරණව දිවි ගෙවන බවත් දැනගන්නට ලැබීමත් සමග ඔවුන්ව බටහිර ජර්මනියට ගෙන්වා ගන්නට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. සෝවියට් වීසා ලබාගැනීමට මා ඉදිරිපත් කල අයදුම්පත් එකපිට එක ප්‍රතික්ෂේප වී ගියේ යුධ සිරකරුවෙකු වශයෙන් වසර ගණනක් එංගලන්තයේ කර්මාන්තශාලා වල රැඳී සිටි බැවිනි.



 

              මිය යාමට ප්‍රථම එක වරක් හෝ දෙමව්පියන් දැක ගැනීමට ඇතිව ඇති උවමනාව දැඩි ලෙස මසිත පාරවන්නට විය. වසර ගණනාවකින් දැක නොමැති ඔහුගේ පුතු දැක ගැනීමට මගේ පියාද නිදි නොලබා මග බලා හිඳින බව සිහි වීමත් සමග හටගත් මානසික තුවාලය පැසවන්නට විය. මසිත පාරවන ආශාව නිසාම කීප වරක් මා දේශසීමා උල්ලංගනය කරන්නට ගොස් හසුවූයේ මරණයේ සේයාවන් සේම ගමන් බලපත්‍රයේ " නීති විරෝධී ලෙස දේශසීමා උල්ලංඝනය කර ඇතැයි " සටහන් පිට සටහන් තබමිනි. මුර බටයන්හේ කිසිදු අනුකපාවක් නොලද මා යාන්තම් ජීවිතය බේරාගන්නට සමත් විය. මෙයම මට බලාපොරොත්තුවක් විය. කෙදිනක හෝ මගේ පියාගේ මුහුණ දැකගන්නා අරමුණින් මරණය ලබන තෙක් උත්සාහ කරන්නට ඉටාගත්තේය. ජීවිතයට බලාපොරොත්තුවක් තරම් ඔසුවක් නොමැති බව මට හැඟී ගියේ සොයුරෙකු විසින් ඇඳ දෙන ලද සිතියමක් අතට පත් වීමත් සමගය. මුර සේනාංකයන් රැකවල්ලා ඇති තැන් , සේවා මුර අවසන් වන ආකාරයන් , සේවා මුර අවසන් වීමෙන් පසු ඔවුන් ඉවත්ව යන ආකාරය , දේශසීමා මායීමේ පිහිටි උස් ගොඩනැගිලි , කර්මාන්තශාලා ඇතුළු බොහෝ දේ එහි ඇතුළත් විය. මේ කදිම විස්තර සමග නැගෙනහිර ජර්මනියට පැන ගත හැකි වෙතැයි විශ්වාසයක් ගොඩනැගී තිබිණි.


" දැන්ම යනවද ඔබ. අදට වහන්නයි සූදානම මහත්තයා " ඒ අවන්හලේ සේවිකාවකි.




                   අත බැඳී ඔරලෝසුවේ වෙලාව රාත්‍රී 11 ට අසන්න වෙමින් පැවතිනි. මම ගමනට සූදානම්ව අවන්හලෙන් පිටතට පැමිණියෙමි. පැය දෙකක් පමණ නැගෙනහිර දෙසට ඇවිද ගියේ වෙහෙසකර බවින් යුතුවය. සීතල සැප්තැම්බරයේ රාත්‍රියක කිසිවෙකුත් නැති මහ මග තුළ බලාපොරොත්තුවක් සමග සිතට දැනෙන දිරියත් , බියත් හා එක්ව ඝන අඳුරේ මම තනිව ඇත. එහෙත් මගේ අරමුණ කරා යාමට පෙළඹුනේ නිරායාසයෙනි. ගම්මානයක් කරා මා අවතීර්ණව ඇති බව දැනුණි. වහා සිතියම අතට ගෙන ගමන් මග වන පෙදෙස දෙසටය වෙනස් කලේ ඉදිරියට යායුතු දිශාව ගැනද අවබෝධයක් ලබා ගනිමිණි. සෑම මිනිත්තුවකම මා ගමන් කරන දිශාව යම් තරමකට වෙනස් කලේ එල්ලවිය හැකි සුළු හෝ අවදානමෙන් බේරීමටය. අවට පරිසයට සවන් දෙමින් ගමන් කල මට ගහ කොළ , සුළඟ සැලෙන ආකාරය ඇර වෙනත් අනතුරක් නොදැනිණි. අවසානයේ මට නැගෙනහිර සහ බටහිර බෙදෙන මායිමට ලං වීමට හැකි වූ මුත් එක්වරම කිසිවෙකු කෑ ගසන ශබ්ධය ඇසී එතනම ගල් විය.



         " නැවතියන් පාහරයා වෙඩි නොකා. එක අඩියක් හෙල්ලුනොත් තොගේ ඔළු කට්ට කුඩු කරනවා " මගේ මුළු ලෝකයම සහමුලින්ම බිඳ වැටෙන බව දැනිණි. මා කල කී සියල්ල අවසානව ඇත. වෙන කල හැකි දෙයක් නොවූයෙන් බටයන්ගේ අණට කීකරු නොවී පැන යා යුතුයැයි හැඟිනි. වහා බිමට පාත් වී වේගයෙන් දිව ගියෙමි. මැෂින් තුවක්කු හතරක් නිමේෂයෙන් ක්‍රියාත්මක විය. වෙඩි උණ්ඩ වරුසාවක් හිසට උඩින් විහිදී ගියේ මුළු සිරුරම හිරි වට්ටවමිනි. ජීවිත අවදානම වැඩි බව මොහොතෙන් අවබෝධ විය. ජීවිතය වෙනුවට මරණය ලැබිය නොහැකිය. එසේ හෙයින් මම වහා වාඩි විය.


                   ජර්මානු දඩ බල්ලන්ගේ හඬ ඇසීමත් සමග මුළු ඇඟම හීතල වී යන බව දැනුණි. ඒත් සමග හිසට තද පහරක් එල්ල විය. එසැණින් පැමිණි රුසියානු සොල්දාදුවන් දෙනෙක් මා නැගිටුවේය. තවත් අයෙක් මැෂින් තුවක්කුව හිසට මානාගෙන සිටී. අනිකා මොහොතෙන් මගේ සාක්කු පිරික්සා බලන්නට විය. මගේ දෑත් බැඳ වනය අතරින් මා රැගෙන ගියේ කඳවුරක් වෙතටය. එකවරම සිහියට නැගුණේ සාක්කුවේ තිබූ සිතියමයි. සිර මැදිරියක දොර විවර කර එය තුළට මා තල්ලු කර හැරි සෙබළුන් මගේ පාවහන් , උඩු කය කබාය ඉවත් කළෝය. එම රාත්‍රිය සීතලය. එහෙත් සිර කුටියේ තිබු තෙත් සහිත පොළොවෙහි දෙපා ගැටෙන විට ඊටත් වඩා සීතලක් දැනෙන්නට විය.


                  මගෙන් ලබා ගත් සිතියම , වෙනත් මාර්ග සටහන් , කර්මාන්තශාලා පිළිබඳ විස්තර , උස් ගොඩනැගිලි පිළිබඳ විස්තර මේ වන විටත් ඔවුන් අතට පත්ව ඇත. මා ප්‍රභල ඔත්තු කරුවෙක් යැයි සිතීමට ඒ හොඳටම ප්‍රමාණවත්ය. එයට අනුව මට අත්වන ඉරණම ගැන මෙනෙහි වන විට පියාගේ මුහුණ දැක ගැනීම දැන්නම් හුදෙක් සිහිනයක්ම පමණක් වී ඇති බව දැනේ. වසර ගණනක් බ්‍රිතාන්‍ය පාලන කලාපයේ රැඳී සිටීමත් , දේශසීමා උල්ලංඝනය කර ඇති බවට සටහන් තැබූ ගමන් බලපත්‍රයත් නිසා තව දුරටත් ජීවිතය ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැක. කුඩා කාලයේදී පියා සමග ගත කල අවස්ථා , සොහොයුරන් සමග හැදී වැදුණු අවස්ථා , මා පෙම් කල ශන්තල් ගැන මතකය සමග දහසක් දේ මසිතට පැමිණෙන්නට විය.


" ඕකෙන් එළියට එන්න " රුසියන් සෙබළුන් තිදෙනෙක් සිරකුටිය වෙත පැමිණ ඇත.




                       පසු දින උදෑසනම මා රැගෙන ගියේ සෝවියට් රහස් පොලිස් සේවයේ ඉහළ නිළයක් දරන්නෙක් යැයි සිතිය හැකි වයස 32 පමණ වන කඩවසම් නිලධාරියෙක් වෙතයි. තද කළු කොණ්ඩය , සිනාසෙන මුසු මුහුණ , හැඩකාර නහය සහ තොල් යුගළ වෙතින් දිස් වූයේ හමුදා සේවය තුළදී නිතර මුණගැසෙන ආකාරයේ පුද්ගලයෙකු නොවේ. මා කාමරයට ඇතුල් වන විට ඔහු සිටියේ පුටුවකට බරව කිසියම් ලිපි ගොනු කීපයක් අලස අයුරින් පරීක්ෂා කරමිනි. එහෙත් මා ඇතුළු වීමත් සමග ක්ෂණිකව ඔහුගේ ස්වරූපය ගිජු ලිහිණියෙකුගේ සේ වෙනස් විය. නටන ඇස් බෝල උකුස්සකුගේ මෙන් විවර විය. එක එල්ලේ මවෙතට හෙළු බැල්මත් සමග මගේ මුළු ආත්මයම හිස්ව යන අයුරක් මට දැනිණි.


" ඔබට සුබ උදෑසනක් ක්ලයිනර් ස්පියුන් ..! කොහොමද ඔබට ඊයේ නින්ද ගියාද ? "

                  ඔහු ක්ලයිනර් ස්පියුන් යන වදන ජර්මන් බසින් උපුටාගෙන පැවසූයේ පැහැදිළිවම මා අසීරුවට පත් කිරීමේ අරමුණිනි. සෝවියට් නිළධාරීන්ට නැගෙනහිර ජර්මනියේ රාජකාරි සඳහා ජර්මන් බස චතුර ලෙස පුරුදු කරනු ලබයි. එසේ තිබියදීත් මොහු ඉන්පසු සෝවියට් බසින් අමතන්නේ මා කොටුකරගැනීමට විය යුතුය. එම වදනෙහි අරුත " පුංචි ඔත්තුකරුවා යන්නයි.


" මම ඔත්තුකරුවෙක් නොවේ . මාව ඔත්තුකරුවෙක් විදිහට පෙනෙනවාද ඔබට ? " මම විරෝධය පල කලෙමි.


" මම ඔබෙන් වෘත්තීය විමසුවේ නැහැනේ. මා විමසුවේ ඊයේ රෑ හොඳින් නිදා ගත්තද යන්න විතරයි. මගේ කඳවුරේ සිටින අමුත්තෙක්ගේ සැප දුක් විමසා බැලීමට මට අයිතියක් තියෙනවනේ . නේද හෑන්ස් හාර්ට්ස් ? " මේජර්වරයෙකු සේ සිතිය හැකි ඉහළ නිලධාරියා ඉතා සාවධානව මට කරුණු පැහැදිලි කරන්නට විය.



මම බිම බලාගෙන උන්නෙමි.


" ඔබ මීට මාස 4 කට පෙරත් නීති විරෝධීව මෙම පෙදෙසට ඇතුළු වී තිබෙනවා. මට කියන්න මොනවද මෙවර ලබා ගත් තොරතුරු හෑන්ස් හාර්ට්ස් " මේජර්වරයා


" මොනවත් නැහැ .මට අවශ්‍ය මගේ දෙමව්පියන් සොයා ගැනීම විතරයි " මම


" ඔවුන් කොහේද ජීවත් වන්නේ හෑන්ස් " සන්සුන් ලෙස මේජර්වරයා .


" එය මට කියන්න බැහැ "


" නමුත් මට සොයාගන්න පුළුවන් හෑන්ස්" මුවගට ඉබේම නැගුණු සිනහව සමගින් මේජර්වරයා.


             එසේ පැවසු මේජර් මගේ ගමන් බලපත්‍රය සිනහ මුසු මුහුණින් පරීක්ෂා කරන්නට විය. මොහුගේ මෙම හැසිරීම් මා ඉතා ඕනෑකමින් බලාහිඳීයෙමි.


" ඕ හෝ . ඔබ උපන්නේ ෆිවින්ටෙන්හෝර්ස්ට් වල " එසේ පවසමින් නැවත මවෙත බැලුවේය. ඔහුගේ ස්වරූපය තියුණු ලෙස වෙනස් වන අයුරු දැකගන්නට හැකි විය. වහ වහා මගේ ගමන් බලපත්‍රය , මා ඇඳ තිබූ සිතියම අසල සිටි සෙබලෙක්ගෙන් ලබා ගත් ඔහු අකුරක් නෑර ඒවා කියවන්නට විය. එසේ කියවන්නේ මීළඟ මොහොතේදී තවත් ප්‍රශ්න වැලක් මවෙතින් ඇසීමට බව දැනුණි. එසේම අවට සිටි සෙබළුන් ඔහුට දක්වන බියද මට එහිදී දැක ගත හැකි විය. සෙබළුන් ඔහු සමීපයට යන්නේත් සැලෙන හදින් යුතුව බව පසක් විය.




" අපූරු චිත්‍ර සටහන් . පාරවල් . ගම්මානයන් . මුරකපොළු . ගොඩනැගිලි . හරි අපූරුයි. මෙතරම් විස්තරයක් ලබා දීම වෙනුවෙන් ඇමරිකානුවන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද " සුන්දර පෙනුමින් යුතු තරුණ මේජර්වරයාගේ ඇතුළත ජීවත් වන නියම යක්ෂයා එළියට පැමිණ ඇති බව වැටහුණි.



             මම තවදුරටත් නිහඩව බලා උන්නෙමි. මගේ විස්තර කිරීම් වල අරුතක් නැති බව මට වැටහුණි.


" හොඳයි පුංචි ඔත්තුකරුවෝ ඔබ සයිබීරියාවේදී කතා කරාවි. ඔබට දැන් යන්න පුළුවන් " තරුණ මේජර්වරයා .





                සයිබීරියාව යන වදන සමග මගේ සිතට දැනුන බිය සන්තාපය ඉමහත්ය. කුසගින්න සහ මරණය අත්විඳීමට සයිබීරියාවට යවන මිනිසුන් ගැන මා අසා ඇත. මගේ ඉරණමත් සයිබීරියාවෙන් අවසන් වනු ඇතැයි මට බියක් දැනිණි. සෙබළුන් තිදෙනෙක් පැමිණ මා සිරකුටිය වෙත රැගෙන ගියෝය. බියත් සාංකාවත් සමග මට බොහෝ වේලා නින්ද ගොස් තිබුණේය. කොපමණ වෙලාවක් නින්ද ගොස් තිබුණේදැයි දැන් මට මතක නැත. සෙබළුන් පැමිණ නැවත මා අවදිකරවාගෙන සිර කුටියෙන් ඉවතට රැගෙන යන ලදී. සයිබීරියාව බලා පිටත් වන ට්‍රක් රථයකට දැමීමට මා ගෙන යනවා විය යුතුය. එහෙත් ඊට ප්‍රථම කඳවුරු භාර මේජර්වරයා ඉදිරියේ පෙනී සිටීමට මා  ඔහුගේ කාර්යාලය තුලට නැවත වරක් ගෙන ගියේ ය. සිගරැට්ටුවක් දල්වා ගෙන නිදහසේ එහි රසය විඳිමින් ඔහු සිටියේය.


" ඔබේ ගමන් බලපත්‍රයේ විස්තර අපි පරීක්ෂා කළා . ඒ සියල්ල බොරු. දැන් මම දන්නවා ඔබ ඔත්තුකරුවෙක් බව. පිටව යාමට කලින් මොනවත් ඔබට කියන්න තියෙනවද හෑන්ස්" මේජර්වරයා

" මට බොරු කරන්න උවමනා නැහැ. මට උවමනා මගේ පියා දැක ගැනීම පමණයි " ආයාචනාත්මක ස්වරයෙන් මම කීමී. මා එසේ කියන විට මේජර්වරයාගේ ස්වරූපය වෙනස් විය. දල්වාගෙන සිටි සිගරැට්ටුව ඔහු අතින් ගිලිහිණි. බිමට වැටුණු සිගරැට්ටුව දෙස විනාඩියක් පමණ බලාගෙන කල්පනාවකට වැටි  සිටි ඔහු මවෙතට හැරි,





" හරි මට පෙනෙනවා. මට කියන්න ඔබ ෆිවින්ටෙන්හෝර්ස්ට් ප්‍රදේශයේ වසර කීයක් ජීවත් වුණාද ? "


" මගේ ජීවිතයේ පළමු වසර දහ තුන "


" හරි හරි මට ඔය කියන ගම ගැන විස්තරයක් කරන්න අපි දන්න ගම්මානයමද කියලා ස්ථීර කරගන්න ඒක වැදගත් වේවි . " මේජර්වරයාගේ ස්වරය නැවත සන්සුන්ව ඇත. විටක බුරා පනින යක්ෂයෙක් වන ඔහු ඉතා සුළු නිමේෂයක් තුළ සන්සුන්ව පුටුවට බර වේ. එසේ වීමත් සමග ඔහුගේ රූපය ශාන්තුවරයකුගේ මෙන් දිස් වේ. ඔහු කතා කරන ඉරියව් , ඔහුගේ හඬ , වචන උච්චාරණය ඔහුටම අවේනිකය. එසේම ඔහු වෙතින් කිසියම් හුරු පුරුදු ගතියක්ද , ලෙන්ගතු බවක්ද මට දැනේ.


                   මම ගම්මානය ගැන විස්තර කරන්නට පටන් ගතිමි. එම දිගු විස්තරයට තරුණ මේජර්වරයා නිසලව දෑස් පියාගෙන සවන් දීමට පටන් ගත්තේය. ඔහු එසේ කරන්නේ අතීතය හා එක්වන්නටද , නැතිනම් ඔහු දුටු ගම්මානයම දැයි හරියටම සිතින් මවා ගන්නට දැයි සිතා ගැනීම අසීරු විය. ඔහු නිසංසල වන විට හුස්ම ගන්නා බවක් හෝ දැකගැනීම අපහසුය.එතරම් ඔහු නිසොල්මන්ය .



" එතකොට ඔබ දන්නවද ලෙයිටර් , මැග්ඩෝෆුට්ස් , වෝල්ටර් , කොර්බි ගැන ? මේක උදාහරණයක් විතරයි " සියුම් ලෙස දෑස් විවර කල මේජර්වරයා.


               මේ මොන නාඩගමක්ද ? මගේ ළමා අවදියේ සිටි අය ගැන මගෙන් විමසන්නේ මා තවත් අපහසුතාවයට පත් කිරීමට බව මට පසක් විය. ඔහු විමසන කුමකට පිළිතුරු දුන්නත් මා අතින් පැටලෙන එක් වචනයකින් ඔහු මා අසරණ කරන බව මා දනිමි.


" හරි එහෙනම් ඔබට ස්ටෝර්ල්පෙල් ගැන මතකද ? ඉග්නේෂස් ස්ටෝර්ල්පෙල් ගැන මතකද " මේජර්වරයාගේ හඬ තියුණුය . ඔහු නිසැකවම මා අසු කරගැනීමට සියුම් ගැටයක් ගසා ඇත.


" ඔව් ඔව් මතකයි මේජර්. මට මතකයි ඔහු ගැන. ඔබ ඔහුව හඳුනනවාද මේජර් ? " ගැලවීමේ චේතනාවෙන් යුතුව මම .


" කට වහපන් මිනිහෝ . මමයි උඹෙන් ප්‍රශ්න අහන්නේ. නැතුව තෝ මගේන් ප්‍රශ්න අහනවා නෙවේ. කියපන් උඹ මේ ස්ටෝර්ල්පෙල් ගැන දන්නවද " යක්ෂයෙක් මෙන් මවෙතට කඩාගෙන පැන එන විට ඔහුව මෙල්ල කරගත්තේ අසල සිටි සෙබලෙක් විසිනි. ඔහුගේ මුහුණ දෙස බැලීමට පවා නොහැකි සේ වෙනස් වී ඇත. ගොදුරක් වෙතට කඩාවදින දඩ බල්ලෙක් මෙන් ඔහු ආවේශ වී ඇත.


" දීපන් මම අහපු දේට උත්තර "




" ඔව් ඔව් හොඳින් දන්නවා. එයා දුප්පත් ගොවියෙක් . සෑම කෙනෙක්ම එයා ගැන අනුකම්පා කළා. මහන්සි වෙලා වැඩ කෙරුවා. බොහෝ විට මහන්සියේ තරමට ඵලයක් ලැබුනෙත් නැහැ. ඒත් ඔහු ඒ ගැන කාටවත් දොසක් කියන්න ගියේ නැහැ. ඒත් අනිත් අයගෙන් උදව් ලබා ගන්න කැමති උනා. සෑම දිනකම වත්තේ පිටියේ වැඩ කළා. ඒ වගේමයි ඔහුගේ පුතා ජෝශප්. හරිම කඩිසරයි. ඒ වගේම මුරණ්ඩුයි තද හිතක් තියෙන කෙනෙක්. වයස 16 වෙද්දී ජෝශප් පියා සමග ආරවුලක් ඇති කරගෙන නිවසින් පැනලා ගිහින් තිබුණා. එයා පැනලා ගියේ චෙකොස්ලෝවැකියානු රාජ්‍යට කියලා කටකතාවක් තිබුණා. ඒත් හරි හැටි විස්තරයක් කිසිවෙක් දන්නේ නැහැ. " මම මොහොතකට නතර උනෙමි. මතකයේ බාධාවන් මට එරෙහිව පැන නැගුණේ අතීත සිදුවීම් මරණයේ සේයාවන් සමග වර්තමානයට ගෙන ඒමේ අසීරු ක්‍රියාවක මා යෙදී සිටි නිසාය.



" කියනවා ඉතුරු ටිකත්. බලන් ඉන්නේ ඇයි" මේජර්වරයා මට නියමාකාරයෙන් හමුදා නිලධාරියෙක් මෙන් අණ කරන්නට විය. එසේම ඔහු එන්න එන්නම සක්‍රීය වෙමින් පවතින බව මට පසක් විය. ඔහුගේ මුවින් වචන පිටවන වේගය ඉතාම වැඩිය. ඔහු එක තත්පරයට වචන 10 පමණ කතා කරන බව වැටහුණි. ඔහු තුලින් පෙර දිස් වූ නිසොල්මන් මිනිසා දැන් දැක ගත නොහැකිය.


                තවදුරටත් මම ආයාසයෙන් කතාව මතකයට නගාගන්නට උත්සාහ කළෙමි. දුප්පත් ගොවියාට තම පුතු පැන යාම නිසා ඇති වූ මානසික කැළඹීම ගැන තවත් විස්තර මම මේජර්වරයා හා පැවසූයෙමි. තම පුතු අහිමි වීමේ දුකට ඔහු පල්ලියේ පූජාවට සභාගි වීම පවා ප්‍රතික්ෂේප කළේය. එසේම තම බිරිඳද එහි යාමෙන් වලක්වාලීය. ඇය හදවතින්ම බැතිබර කාන්තාවක් වූවත් ඇය පල්ලියට යාමෙන් වළක්වාලනු ලැබූයේ ඇය තම පුතුගේ පැත්ත ගත් නිසාවෙනි. එපමණක් නොව මෙම සිදු වීමෙන් අනතුරුව කලකිරීමත් කෝපයත් ගම්මුන් කෙරෙහිද පැවති නිසා ඔහු යම් අමනාපයකින් කටයුතු කරන්නට පෙළඹ සිටියේය. තම පුතුගේ අහිමි වීමෙන් වසර දෙකකට අනතුරුව මේ දුප්පත් ගොවියාගේ බිරිඳද මිය ගියේ ඇයගේ ශෝකයද ඇයත් සමගම මිනි වලට ගෙන යමිනි. දුප්පත් ගොවියා තම බිරිඳගේ අවමගුල් උළෙලට සභාගී වූයේද තමන් ගොවිතැනට ඇඳ සිටි ඇඳුමෙන්ය. එදා සිට ඔහු රෑ බෝවන තුරු ගොවිතැන් කටයුතු වල නිරත වී සිටියේ කලකිරීමත් කෝපයත් නිසා විය හැක. සැබවින්ම එතැන් සිට ඔහු වඩා නිහඬ පුද්ගලයෙක් වූවා සේම සතුරු වාදී ආකල්පයකින් පසු වන්නෙක් විය.



               මෙතරම් දීර්ඝ කතාවකට මේජර්වරයා සවන් දෙන්නේ ඇයිදැයි යන්න මට ගැටළුවක් විය. එහෙත් මට ඔහුගෙන් ප්‍රශ්න කල නොහැක. එනිසා දීර්ඝ විස්තරයකින් පසු මම කතාව මදකට නැවතූයෙමි. නමුත් මම ඔහුගෙන් වෙනත් අයුරකින් කළෙමි.


" තව දුරටත් කතාව අවශ්‍යද මේජර් "


" ඔව් ............ ඔව් .......... "



" ඊට පස්සේ මගේ මිත්තණිය මෙම තනිකඩ පුද්ගලයට උදව් කරා. ඔහුගේ මුඩු ඉඩම වෙනුවට ඇය සතුව පැවති සරුසාර ඉඩමක් හුවමාරු කර දුන්නා. ඔහු එහි කැමැත්තෙන්ම වැඩ කළා. ඒත් එක දවසක් ඔහු හදිසියේම රෝගී වුණා. ඔහුව රෝහල් ගත කලත් රෝහල් ගාස්තු ගෙවන්න වත් මුදලක් ස්ටෝර්ල්පෙල් අතේ තිබුණේ නැහැ. " මම කතාව වඩාත් විස්තරාත්මකව පවසන්නට වූවත් මේජර්වරයා නිහඬව සාවදානව සවන් දෙමින් සිටීම මට මහත් අපහසුතාවයක් විය. එසේම ඒ ගැන කුතුහලයක්ද ඇති විය. එහෙත් එයට හේතුවක් සොයා ගැනීමට මට නොහැකි විය.


" වසන්තයේදී ඔහුව රෝහලෙන් කැඳවාගෙන පැමිණියත් ඔහු සතු ගොවිපළේ වෙනත් කිසිවෙකු නොමැති වූ නිසා ඔහුව අප නිවසේ නවතා ගැනීමට කටයුතු කළා. වැඩි කතා බහක් නොමැති වුවද ඔහු අප වෙත ස්තූතිය පුද කළා. ඔහුට උවමනා සියලු දේ ඔහු වෙනුවෙන් ලබා දීමට මගේ පවුලේ සියලු දෙනාම කටයුතු කළා. කාලයත් සමග ඔහු ගැන තිබු බිය ක්‍රමයෙන් පහව ගියේ මා කරන වැඩ වලට ඔහු නිහඬ ලෙස උදව් දීමටත් , සමහර අවස්ථා වලදී උපදෙස් දීමටත් කටයුතු කිරීම නිසාය. කාලයත් සමග ඔහු  මා සමග මිත්‍ර විය. ඔහුගේ පුතුට මෙන් මට ආදරය කරන බව මට වැටහිණි. එහෙත් නොබෝ කාලයකින් ස්ටෝර්ල්පෙල් අපෙන් සමුගෙන සදහටම පිටව ගියා. "


" එයා මැරුණට පස්සේ මට හමුවුනා එයාගේ බිරිඳගේ යාඥා පොත. ඒක තිබුණෙත් ඔහු නිදාගත් කොට්ටය යට. ඒකෙ මෙහෙම ලියලා තිබුණා "



තාත්තා ,


මම ඔබෙන් සමුගන්නවා . මම ආයේ එන්න අදහසක්
නැහැ තාත්තා. ඒකට හේතුව ඔබ මට ආදරේ නැහැ.
ඒත් කරුණාකරලා මගේ අම්මට ආදරේ කරන්න. ඇය
ඉතා අහිංසකයි. ඔබේ රිදවීම් ඇයට දරාගැනීමට බැහැ.
කරුණාකරලා මගේ අම්මව බලාගන්න .

මෙයට ඔබේ පුත් ,
ජෝශප් ස්ටෝර්ල්පෙල්.


" දැන් වත් ඔබට විශ්වාසද මම ෆිවින්ටෙන්හෝර්ස්ට් ගම්මානයේ ජීවත් වූ බව " මම විස්තරය එලස නිම කලෙමි. දිගු කතාවක් වුවත් මගේ මතකය තුළ නොඹීඳි පැවති මෙම සිදුවීම අහම්බයක් නොව සදාකාලයටම පවතින්නක් සේ මට දැනුණේ කතාව අවසන් කල පසුය. මේජර්වරයාද නිහඬව දෑස් පියාගෙනම සියලු දේට සවන් දුන්නේය.එහෙත් ඔහු කිසිදු අයුරකින් බාධාවක් හෝ අදහසක් ඉදිපත් නොකළේය.


" මොහුව නැවත සිර මැදිරියට ගෙනියන්න " දෑස් පියාගෙන බිම බලාගත් අතම බලා සිටිමින් මේජර් එසේ පැවසූයේ මට කිසිදු බුරුලක් නොතබමිනි. නිසැකවම මට අත්වන ඉරණම ගැන මනසේ ඇඳි සිතුවම යථාර්තයක් වන්නා සේ මට දැනුණේ ඉවතට ගෙන යාමට සැරසෙන විට ඔහු මා අත තිබු සිතියම රැගෙන පරීක්ෂා කරමින් සිටි නිසාය.වසර කීපයකට සයිබීරියාව බලා සිර කරුවෙක් ලෙස යවන්නෙක්ගේ ජීවිතය සහ මරණය අතර සීමාව සදහටම වැසි යයි. මේජර්වරයා මා උගුලකට හසු කර අවසන්ය. සිතියමත් , මා පැවසු විස්තරයත් සමග මේ ප්‍රදේශය ගැන නිසි වැටහීමක් ඇත්තෙක් ලෙස මා හසු වී හමාරය.


                  මම රාත්‍රී නින්දට වැටුණේ වෙහෙසකර බව සේම බලාපොරොත්තු බිඳ වැටීමේ මානසික කඩාවැටීමෙන් යුතුවය. පසු දින උදයේ මා අවදි වූයේ සෙබලෙක් පැමිණි මා අවදි කල නිසාය .


" ඉක්මණට ලැස්ති වෙන්න . අපි දැන්ම පිටත් වෙන්න ඕනේ " සෙබළාගේ හඬ.

මගේ මුළු ගතම එක්වරම අප්‍රාණික වී ගියේය .

" අපි ඔබව නැගෙනහිර කලාපයට රැගෙන යන්නම් " අනික් සෙබලාගේ හඬ.



                 සෙබළා එසේ පැවසූවද මෙය තවත් උපායක් පමණක් බව මට වැටහුණි. ට්‍රක් රථයකට ගොඩ කරගත් මා සමග ඔවුන් ගමන් ඇරඹීය. පැයක පමණ ගමනකින් පසුව ඔවුන් ලඟා වූයේ දේශසීමා කලපයකටය . ට්‍රක් රථයෙන් බිමට බැස ගත් මොහොතේ සිට මට අත්වන ඉරණම ගැන මට සිහි වන්නට විය. තව සුළු වේලාවකින් මැෂින් තුවක්කු දෙකකින් මගේ ඔළු කට්ට කුඩු කර දැමෙන බව සිහි වන වාරයක් පාසා දෙපා වාරු නැතිව යන බව දැනිණි.




" ඔයා හරිම වාසනාවන්තයි " එක් සෙබළෙකු පැවසූයේ සියුම් සිනහවක් මුවට නගාගනිමිනි . එසේ පවසා ඔහු මා අත මනාව සැකසු ලියකිවිලි ගොනුවක් තැබීය. එය තුළ මගේ සිතියම , පැරණි ගමන් බලපත්‍රය සේම අලුතින් සෑදු ගුවන් ගමන් බලපත්‍රයක්ද විය.


ඒ සියල්ලට අත්සන් තබා තිබූවේ පහත සටහනද සමගින්



දෙවන වරටත් දේශසීමාව උල්ලංගනය
කරන්නට ගොස් ස්වකැමැත්තෙන් බාර විය.
සියලු විස්තර පරීක්ෂා කළෙමි. බාධාවකින්
තොරව ගම්බිම් බලා යෑමට අවසර දෙමි.

මෙයට ,
මේජර් ජෝශප් ස්ටෝර්ල්පෙල්
සෝවියට් සමූහය!





හෑන්ස් හාර්ට්ස්,
ජර්මනිය.

_____________________________





         මෙහි රත් පැහැයෙන් දිස් වන්නේ  නැගෙනහිර  ජර්මනියයි. එහි පාලනය  ගෙනගියේ රුසියානු සමූහය විසිනි.

            එහි රත් පැහැයෙන් ඇති පෙදෙස් හැර අනිත් සියලු කොටස් පාලනය වූයේ සතුරු හමුදා විසිනි. එංගලන්තය කොළ පැහැයෙන්ද , ඇමරිකානු කලාපය කහ පැහැයෙන්ද , ප්‍රංශයට අයත් කොටස නිල් පැහැයෙන්ද දක්වා ඇත.

                එකම දේශයක් වූ ජර්මනිය බර්ලින් තාප්පය නිසා දෙකට වෙන් වී ගියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදවත්ද දෙපළු කරමිනි. 1991 දී බර්ලින් තාප්පය බිඳ වැටෙන තෙක් ඉහත ආකාරයේ සිදු වීම් නිසා අනන්ත ගණනක් සිය ජීවිතය පූජා කර ඇත. තම මතකයන්හි සුවඳ සොයා යාම හැර වෙනත් සතුටක් මිනිසාට නොමැත.

_________


           මෙම සිදු වීමෙන් මාස තුනකට පසු එනම් මෙම වසරේ දෙසැම්බරයේ දිනක මේජර් ජෝශප් ස්ටෝර්ල්පෙල්ගේ මළ සිරුර හමු වේ. එම මළ සිරුරේ විශේෂත්වයක් තිබේ. හිසට වෙඩි තබාගෙන මරණය සිදුව ඇත. එහෙත් සිරුර තුළ වෙඩි වැදීම නිසා ඇති වූ සිදුරු 8 ක් හමු වේ. එනම් එක් වෙඩි උණ්ඩයකින් මරණය සිදු නොවූ නිසා මේ සවිමත් මේජර් වරයා දෙවන තෙවන වරටද තමාගේම හිසට වෙඩි තබාගෙන ඇත.




              එසේ 8 වරක් හිසට සහ හදවතට වෙඩි තබා ගැනීමෙන් අනතුරුව මරණය සිදු වූ බවට කඳවුරු සෙබළුන් සාක්ෂි දරයි. සියදිවි නසා ගැනීමක් වුවද ජීවත්ව සිටියදී ඔහු කල කී සියල්ල සලකා බලා ඔහුගේ දේහයට සෝවියට් සමූහයේ පූර්ණ ගරු නම්බු ඇතිව අවසාන ගෞරවය දෙනු ලබයි. සංසාරය චක්‍රයකි. එම සිදුවීම් මාලාව නැවත නැවතත් චක්‍රයක් මෙන් සිදු වේ.නම් ගම් පමණක් කාලයෙන් කාලයට වෙනස් වේ. පහත ඇත්තේ ඔහුගේ මළ දේහය අසළ තිබී හමුවූ ලියමනයි .

M.Shermiya Fernandezqe,
Rennes.




_______

දයාබර ලෝකය වෙත ,

       පියාගේ මතකය ගැන දැන් මට ඇත්තේ වයස 16 න් නිවසින් නික්මෙන විට තිබු මතකය පමණි. මෙම අද්දැකීම මීට වසර ගණනකට කලින් ලැබූ මුත් අදටත් එය සිහි වන වාර ගණන බොහෝය. දෙනෙත් පියවන වාරයක් වාරයක් පාසා පියාගේ මතකය , ඔහුගේ සුවඳ , ඔහු හා ගත කල මොහොතවල් සිහි වේ. එකම ගමේ ජීවත් වූ හෑන්ස් සහ මම ; අප දෙදෙනාගෙන් එක් අයෙක් පියාගේ සුවඳ සොයා මරණයේ තුරුළටම පැමිණ පියාගේ සුවඳ හා එක්වීමත් , අනිත් කෙනා වූ මා පියාගේ සුවඳින් නික්ම මරණයේ තුරුළට ගුලි වීමත් සිදුව ඇත.





                 පියාගෙන් නික්ම මා බොහෝ දුරක් පැමිණ ඇත. එහෙත් මට තවත් දුර යෑමට ශක්තියක් ඉතුරුව නැත. මා සමග ඇති ධනය ,බලය කෙතරම් වුවත් ඒ කිසිවකට පියාගේ සුවඳ , මගේ පවුලේ සුවඳ , ලබැඳියන්ගේ සුවඳ ලබා දිය නොහැක. කල හැකි එකම දෙය නම් පියා හා එක්වීම පිණිස සංසාරයට එක් වීම පමණි. පියෙකුගේ මතකය එතරම් තදින් මනසට කිඳා බසින බව තේරුම් යන විට වෙන කල නොහැකි දෙයක් නැත. එක් අයෙක් සුවඳ විඳින විට අනිකා සුවඳ සොයා මෙසේ නික්මෙයි.


මේජර් ජෝශප් ස්ටෝර්ල්පෙල්.
සෝවියට් සමූහය!


____________________________



නිමි!





ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.".

ළන් වීමක මිහිර ..!



අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...



Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණු අමුත්තාගේ රහස !| 

ඔයා බැඳලද ? මන් දන්නේ නැහැ | මොකා ! ( WTF )?


64 comments:

  1. //තම මතකයන්හි සුවඳ සොයා යාම හැර වෙනත් සතුටක් මිනිසාට නොමැත//

    ඔව් ඒක සහතික ඇත්ත ,
    ඒ මතකය සුන්දර එකක් උනත් අසුන්දර එකක් උනත්

    ReplyDelete
    Replies
    1. ඉහත කතාවේ වගේ අද්දැකීම් තියෙන කෙනෙක්ට වෙන විසදුමක් නැහැ අටම්. ( බක පණ්ඩිතයෝ දෙන උපදෙස් වලින් විසදුම් නම් ලැබෙන්නේ නැහැ )

      Delete
  2. හොඳ කතාවක් සහන්....මේ ලෝකයෙ ආපහු හැරීමක් නෑ...මරණයෙන්වත් නෑ.....අහල ඇතිනෙ "ආදරයට බ්‍රේක් නැත..ජීවිතයට රිවර්ස් නැත..." ....තමන්ගෙ අතීත ක්‍රියා වලට තමන් වැරදි කාරයෙක් කියල දැනෙනකොට...ඊටත් වඩා ඒව නැවත හරි ගස්ස ගන්න බෑ කියල දැනෙනකොට....මොනතරම් හයිය හිතක් උනත් කඩාගෙන වැටෙනවා..මොනතරම් ධනය , බලය තිබුනත් හාන්ස් ගෙ චේතනාව ලඟදි තමන් මොන තරම් දුප්පතෙක්ද කියලා මේජර් ට වැටහෙන්න ඇති....වරදකාරී හැඟීමක් එන්න ඇති.....

    "තමන්ට තමන් වැරදිකාරයෙක් වුනු දවසට තමන්ට තමන්ගෙන් වත් සමාවක් නෑ"

    ReplyDelete
    Replies
    1. \\\මොනතරම් හයිය හිතක් උනත් කඩාගෙන වැටෙනවා..මොනතරම් ධනය , බලය තිබුනත් හාන්ස් ගෙ චේතනාව ලඟදි තමන් මොන තරම් දුප්පතෙක්ද කියලා මේජර් ට වැටහෙන්න ඇති....වරදකාරී හැඟීමක් එන්න ඇති.....\\\\

      ඔබ හරියටම කතාවේ අර්ථය දැකල තියෙනවා . මේ වගේ මතකයන් ඔලුවේ තෙරෙපෙද්දී එක්තරා සීමාවකින් එහාට ඉවසන්න බැහැ. ඔළුව පුපුරලා යනවා යනවාමයි. එක්කෝ ඉබේම පුපුරනවා , නැත්නම් තමන් විසින්ම ඔළුව කුඩු වෙලා යනකම් වෙඩි තියාගන්නවා.. මෙතන උනෙත් ඒක රයිටර්.. කායික දුකට වඩා මානසික දුක දරන්න බැහැ .



      පාළුවට ගියපු ලෝකෙක ජීවත් වෙන්න බැහැ හිතක් පපුවක් තියෙන කෙනෙක්ට.අනිවාර්යෙන්ම හිස ඇතුලේ තෙරපෙන පීඩනය එළියට එනවා ..මුළින්ම එන්නේ කඳුළු . ඊට පස්සේ මොළය හදවත සුනුවිසුණු වෙලා යනවා රය්ටර්.. කිසිවෙක්ට වළක්වන්න බැහැ..

      Delete
  3. හොදම හොද කතාවක්.
    ඔබ මෙය පෙර ලිපියට වඩා හුගක් වෙනස් කරන්න ඇතියි සිතුව.

    ReplyDelete
    Replies
    1. කතාවේ අර්ථය වෙනස් කරලා නැහැ අය්යේ. බොහෝ යෙදුම් සංවාද ඒ අයුරින්ම තියෙනවා. සිංහලට ගනිද්දී රුසියන්/යුරෝපා හුරුවට හානියක් වෙන්න දුන්නේ නැහැ. සයිබීරියන් රූප එහෙම නම් ඇත්තම පින්තූර, ජර්මන් සිතියම , වෙනත් විස්තර මම පස්සේ add කළා.. හෑන්ස් බර්ලින් තාප්පය බිඳ වැටෙන තෙක්ම ජීවත් වෙලා තියෙනවා මන් හිතන්නේ. මේජර් වරයාත් ලෝකේ කොහේ හෝ ජීවත් වෙනවා ඇති තාත්තා එක්ක..

      Delete
  4. බර්ලින් තාප්පයේ ගොඩනැගීම සිද්ධවන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් එක්කම 1961 දී. එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන මිත්‍ර පාර්ශවයත් හා සෝවියට් දේශයත් ලෙස කොටස් හතරකට ජර්මනිය බෙදීමත් හා බැදුනු සිද්ධි කිහිපයක් මුල් වෙලා මේක ගොඩ නැගුනයි කියලයි ඉතිහාසය කියන්නේ. මේක සිද්ධ වෙන්න සම්මුතියකුත් තිබ්බ. නම "postdam". යුද්ධයෙන් පස්සේ මේ බෙදීම නිසා උතුරු හා නැගෙනහිර ජර්මනිවල වෙසෙන්නන්ගේ ජීවන තත්වයේ ලොකු වෙනස්කම් ඇතිවෙන්න හේතුවෙන්නේ තමන්ගේ ආදරණීයයන් අර කලාප වලන් එකක හිරවෙලා තාප්පයෙන් වෙන්වෙලා උන්නු හේතුව. මම හිතන්නේ අර මේජර් තමන්ගේ වරදත් එක්ක ජීවත්වෙන්න ඇති කාලයක්ම.

    ReplyDelete
    Replies
    1. මේ විස්තරය බෙදා ගත්තට ස්තූතියි රති. මම තව තොරතුරු ටිකක් add කරන්නයි හිටියේ. ඒ උනත් වෙලා නැති උනා. ඔබ මෙහෙම හරි දෙයක් ලියපු එක හොඳයි..


      මේජර් හැමදාම ජීවත් වෙන්න ඇත්තේ ඒ වරද එක්ක රති.. හෑන්ස්ගේ පැමිණීම එක්ක දරගන්නම බැරි වෙන්න ඇති. නොකඩවා හිතට තාත්තවම මතක් වෙන්න ඇති.. අන්තිමට තාත්තව හොයන් ගියා..!

      Delete
  5. බොහොම ලස්සනට ලියල තියෙනවා සහන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාලේ ... දිගට,ම එන්න ..

      Delete
  6. ගොඩාක් වටිනව.... සෑහෙන්න දේවල් තොගයක් දැනගත්ත.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගාලු.. හෙමීට අනිත් පෝස්ටුත් කියවන්න විනාඩි 20 ක් වැයකරලා.. දිගටම එන්න..

      Delete
  7. ගොඩක් තද මිනිස්සු ඇතුළෙ ඉන්නෙ මානසික පීඩාවකින් පෙලෙන මිනිසෙක් කියන එක මේ කතාවෙන් පෙනෙනවා හොඳට.. පරිවර්තනයත් අපූරුයි.. 1987 මම යුරෝපයේ සිටි කාලයෙදි යකඩ තාප්පය පසුකර නැගෙනහිර ජර්මනියටත් පෝලන්තයටත් ගිය චාරිකාව මතක් උනා. අද උතුරු දකුණු කොරියාවල් ඉන්නෙ එතැනයි..

    ReplyDelete
    Replies
    1. ඔතන " මානසික පීඩාවකින් " කියන වචනේ " ලොකු දුකකින් " කියලා වෙනස් වෙන්න ඕනේ සරත් අය්යේ.. තමන්ගේ හිස මත පැටවුණු රාජකාරීමය බරයි , පුංචි කාලේ නිවසින් ඈත්ව යාම නිසා ඇති වුනු දුකයි , හෑන්ස් තමන්ගේ පියාට ආදරේ කරන තරමයි දැක්කම මේජර්ට ඉහිලුම් නැතිව යන්න ඇති.. මාස තුනක් තිස්සේ එයා උපරිම උත්සාහ කරන්න ඇති. මේ සිද්දියෙන් මාස තුනක් ගෙවිලා යනකම් ඔලුව ඇතුලේ දුක හිර කරන් ඉන්න ඇති..

      අන්තිමට පුපුරලා සුනුවිසුණු වෙලාම ගියා.. එයාගේ මතකය විතරයි අද ඉතුරු..

      සරත් අය්යාගේ වටිනා කමෙන්ටුවට ස්තූතියි ගොඩක්..

      Delete
  8. මේ වගේ සිරාම සිරා පෝස්ට් කියවන්න ලැබෙන එකත් සතුටක්.

    ඇත්තටම දැන් ලංකාවේ මුද්‍රණය වන නවකතා, කෙටි කතා ගොඩක් අරන් බැලුවම කියවන්න හිතෙන්නෙම නෑ. මේ වගේ හොඳ බ්ලොග් පෝස්ට් ප්‍රින්ට් කළා නම් ඇත්තටම හොඳයි.

    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියෙව්වා කියලා දැනගන්න ලැබීම සතුටක් සඳුනිමා .. අදට උනත් ගොඩක් හොඳ නිර්මාණ තියෙනවා මචන්.. ඒත් මිනිස්සු අතරට නොයාමයි ප්‍රශ්නේ.. මුතුහර , මනහර , සිව්දෙස වගේ සඟරා වල වටිනා ලිපි තියෙනවා.. පරණ කාලාප හොයන් ටිකක් බලන්න.. සෑහෙන්න වෙනසක් තේරේවි..

      ස්තූතියි ඇවිත් කියවීම ගැන දිගටම එන්න ..

      Delete
  9. ඉස්තරම් කතාවක්, පරිවර්තනය නියමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විශ්ව... මම මේ ටිකේ පරිවර්තන කීපයක් ලිය ලියා ඉන්නේ.. ඔයා ආස වේවි ඒවටත්.. ඊළඟට එනවා රහස් පරීක්ෂක කතාවක් හෝම්ස්ගේ ..

      ඒක බලන්නත් එන්න..

      Delete
  10. \\"තමන්ට තමන් වැරදිකාරයෙක් වුනු දවසට තමන්ට තමන්ගෙන් වත් සමාවක් නෑ"//

    සහන්... Underwriter ගේ කමෙන්ට් එකේ තිබු මේ සටහනට මම හරි කැමතියි.සහන් මම ඉතාමත්ම උනන්දුවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින් සහන් මේ පැත්තට එන්න විවේකයක් ලැබුණේ. විවේකයක් කිව්වට විවේකයක්මත් නොවේ. දහසක් වැඩ අතර මගයි මේ ආවෙත්.
      ඒ කොහොම වුණත් ඔබේ ලිපි කියවන විට හැගෙන්නේ ඔබ මොනතරම් පැතිරුණු දැනුම් සම්භාරයක් ඇත්තෙක්ද යන්නයි. කියවන්නට ලැබෙන ඔබේ හැම ලිපියකම ගත යුතු දේ බොහෝ යි. ඒ වගේම විවිධ ඉසව් කරා පාඨකයන්ව ඔබ ගෙන යන්නේ අප සැම අන්ද මන්ද කරවමින්.
      ස්තුතියි සහන්.

      Delete
    2. @ අරූ & නලින් අය්යා

      ඔව් අරූ අය්යේ අන්ඩර් රයිටර් කතාව විනිවිද දැකලා තිබුණා. මුළු කතාවේම අර්ථය එයා මතු කරලා තිබුණා එක කමෙන්ට් එකෙන්.. මුල්ම කමෙන්ට් දෙක තුන අතරට එවැනි කමෙන්ට් එකක් වැටීම කියවන අනිත් අයටත් පහසුවක්..

      ස්තූතියි නලින් අය්යේ වැඩ රාජකාරි මැද්දේ උනත් ඇවිත් යාම ගැන.. මම දැක්කා ඔයා කීප පාරකට ඇවිත් මේ පෝස්ට් එක බැලුවේ කියලා.. ඒ වගේම ලංකාවේ ප්‍රධාන පුවත්පතක ප්‍රවෘත්ති කතෘ කෙනෙක් වුනු ඔබෙන් ඔහොම අහන්න ලැබීමත් සතුටක් මට... අය්යලගේ උදව් නිසයි මම මේ බ්ලොග් එක ගෙනියන්නේ.. ඔයාලා නැත්නම් මටත් සතුටක් නැහැ මේ දේවල් කරා කියලා.. අද වෙද්දී මම ගොඩක් දේවල් අතැරලා ඉන්නේ ඒ කිසි දේකින් මම සතුටක් නොලබන නිසයි..

      දිගටම එන්න නලින් අය්යේ..

      Delete
  11. කොච්චර දිග උනත් ඒකනම් කියවපු සුපිරිම කතාවක් අයියා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි.. කොටස් වලට කඩන්නේ නැතුව දැම්මෙත් ඒකයි.. මේවා කොටස් කරාම තේරුමක් නැතිව යනවා.. දිගටම එන්න මල්ලි..

      Delete
  12. හරිම සංවේදී කතාවක් හරිම ලස්සනට ලියල තියෙනවා ස්තුතියි සහන්.ගොඩක් ජීවිත ඇතුලේ මේවගේ පසුතැවීම් ඉතුරු වෙනවා වද දීදී :(

    ReplyDelete
    Replies
    1. ඕනෑම පිරිමි ළමයෙක් ජීවිතේ එක් කාලෙක පියාට වෛර කරනවා. තමන්ගේ පැවැත්මට පියා අභියෝගයක් කියල දකිනවා. ගැටුම් ඇතිකරගන්නවා. ඔහුට ඕන ගැහැනුන් අතර තමන්ගේ තැන හදාගන්න. යම් වයසක ඒ ස්ථාවරය හදාගෙන ශක්තිමත් පිරිමියෙක් උන දාක පියා හා ගැඹුරු සෙනෙහසකින් වේලෙනවා. ඔහුට තවදුරටත් පියා අභියෝගයක් නෙවෙයි. ඔහු ඒ සෙනෙහසට ආදරය කරනවා. මේ චර්යාමය ලක්ෂණය අපි හැමෝම තුල තියෙනවා.එහෙම නෙමෙයිද?

      Delete
    2. හරියට හරි මොරේ ඔබ මේ කතාවේ තවත් පැත්තක් දැකලා තියෙනවා.. බොහෝ පිරිමි ළමයි වයස 13 වගේ වෙද්දී පියා සමග ගැටුම් ඇති කරගන්නවා , නිදහස හොයන් යනවා , අමනාපකම් ඇති කරගන්නවා.. ඒත් වයස 30 පැන්නට පස්සේ පියාව ඕනේ වෙනවා. පියා සමග කාලය ගෙවන්න ඕනේ වෙනවා. පියාගේ සුවඳ හොයන් යනවා..

      මේජර් පත් වුණු අවස්ථාව අනුව එයත් සාධාරණයි..පියාගේ සුවඳ හොයන් යන්න පෙළඹුනා..ඉබේම වෙන දෙයක් මොරේ ඒක.. ඔබේ වැදගත් කමෙන්ටුවට ස්තූතියි මොරේ...

      දිගටම එන්න..

      Delete
  13. බොහොම අපුරුයි සහන්.
    මේජර් ජෝශප් ස්ටෝර්ල්පෙල්ගේ ලියමන හරියට හිතට වදිනවා.

    ReplyDelete
    Replies
    1. මිනිහෙක්ගේ අවසාන වචන ටිකනේ මනෝජ් ඒ. අවුරුදු ගාණක විලාපය කැටි වෙලා තියෙනවා ඒ වචන ටිකේ.. ඒ වචන වල බර තේරෙන්නෙත් හිතක් පපුවක් ඇති ඔයාලා වගේ අයට විතරයි..!

      Delete
    2. මනොජ් ඔයාගෙ "තාත්තා" ගැන පෝස්ට් එකත් ගොඩක් ලස්සනයි . ඒ ලින්ක් එකත් මෙතනට හොදයි වගෙ කියලා මට හිතෙනව. පුලුවන් නම් මෙතන දාන්නකො ඒක

      Delete
  14. කායික වේදනාවට වඩා මානසික වේදනාව දරා ගන්න අමාරුයි.....

    මටනම් මේක කියවලා ඉවර වෙද්දී කදුළු අවා...

    මමත් ඔය තත්වෙටම පත් වෙයි එහෙම උනානම්....

    ReplyDelete
    Replies
    1. ශිරන්ත මේ කතාව ප්‍රභන්දයක් නෙවේ. මේජර්වරයා මේ ලෝකේ කොහේ හරි ජීවත්
      වෙනවා. එයාගේ වේදනාව මේ කතාවේ තියෙනවා .. කතාවේ දෙබස් හොඳින් අහන්
      හිටියොත්එයාගේ විලාපය ඇහේවි..

      සතුටු වෙන්න හිතක් පපුවක් ඇති කෙනෙක් වීම ගැන ශිරන්ත.. අමනුස්සයෙක් විදිහට ජීවත් වෙනවට වඩා වටිනවා මනුස්සයෙක් විදිහට මරණය ලැබීම..!

      Delete
    2. මට දැනෙනවා හොදට .....

      Delete
  15. යුද්ධ වලින් මියගිය සතුරු, මිතුරු සියලු දෙනා වෙනුවෙන්ද,මගේම අතීතය වෙනුවෙන්ද හැඬුවෙමි.ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා ඔබේ මනුස්සකමට.. හැකි වෙලාවට දිගටම එන්න...

      Delete
  16. ගොඩක් ලස්සනයි කතාව සහන් , ගොඩක් පිං ඔයාට සෙනෙහසක් ,ආදරයක්, දයාවක් නොහදූනන මිනිසුන් පිරි සමාජයක අපෙන් ගිලිහෙන ආදරය අරුත් බරව සිහි කරලා දුන්නට.

    මිනිසුන් අතරට ගෙනයා යුතු දේවල් මේවා තමයි. මට නම් මගේ තාත්තා කවදත් වීරයෙක් . මේක කියවපු හැමකෙනාටම තමන් පුංචි සන්ධියෙ විදි ඒ පිය සෙනෙහස මතකයට නැගෙනු නොඅනුමානයි. මව්පියන් දුරස්ව ජීවත් වන්නන් එතකොටවත් "එන පෝයට වත් මහ ගෙවල් පැත්තෙ ගිහින් අම්මලා බලලා එමු නේද ?" කියලා කියාවි නෙ (හි... හි .)

    සහන් අර කිව්ව හෝම්ස් කතාවත් ඉක්මනින්ම දෙන්න හොදේ , ඒකෙන් ඔයාගෙ තවත් හැකියාවක් තේරුම් ගන්න පුලුවන් වෙයි අපට.

    ReplyDelete
    Replies
    1. දෙමාපියන්ගේ ලබන සුවඳ තරම් වෙනත් දෙයක් මේ ලෝකේ නැහැ මනෝජ්.. ( අඩුම තරමේ අපි අපේ දරුවන්ගෙන් වත් එහෙම මිහිරක් ලබන්නේ නැහැ ) මට නම් මගේ මුළු ජීවිතේම තාත්තා.. මගේ අම්මා උනෙත් , තාත්තා උනෙත් එයා...මම අදටත් හුස්ම ගන්නේ මගේ තාත්තගෙන් මනෝජ් ...!

      Delete
  17. පින්තුර වලට උචිත කථාවක් සිත් ගන්නා සුළුයි.ඔබේ හැකියාව පිළිබඳව නම් අගය කරමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි කතාව කියවීම ගැන..

      Delete
  18. තාත්ත හිටියනම් කියල හිතෙන වාර අනන්තයි මටත්... මොනවා කරන්නද? අපිට දේවල් නැති වෙන්නේ තව බොහෝ දේ ලබා දෙන්න ... සමහර දේවල් නැතිවීමෙන් පස්සේ ලැබෙන දේවල් වලින් ජිවිතේ දිනන්න පුළුවන් .. එත් පිය සෙනහස, මව් සෙනෙහස අහිමි වුණාම මොන දේ ලැබුනත් වැඩක් නෑ කියල හිතෙනවා ... මේක ලස්සන කතාවක් .. හිතට දැනෙන දේවල් ගොඩයි ..

    ReplyDelete
    Replies
    1. පැතුම් මම දිග කමෙන්ට් එකක් දාන්නේ නැහැ.. ඒ තරම් සංවේදී.. මට නම් මගේ තාත්තා නැතුව එක විනාඩි 30 ක් ඉන්න බැහැ.. ඒ තරම් මම තාත්තට බැඳිලා..ඒ ටික විතරක් කියන්නම් ... එයා නැති දාක ජීවත් වෙන්න බැහැ මට..

      Delete
  19. හොඳ කතාවක් අය්යේ...

    කෙනෙකුගේ මානසික සිතුවිලි තව කෙනෙකුගේ ඉදිරියේ හුවා දැක්වූ විට ඒ පුද්ගලයාගේ මානසික සිතුවිලි වෙනස් කරන්නට සමත් වෙනවා....සංවේදී කතාවක් කියලා තමයි මට නම් හැඟුනේ

    ReplyDelete
    Replies
    1. \\\කෙනෙකුගේ මානසික සිතුවිලි තව කෙනෙකුගේ ඉදිරියේ හුවා දැක්වූ විට ඒ පුද්ගලයාගේ මානසික සිතුවිලි වෙනස් කරන්නට සමත් වෙනවා...\\\\

      වටිනා අදහසක් රෙහානි..
      ++++++++++++++++++++


      හදවතට කතා කරනවා කියන්නේ මේක නේද ..?

      Delete
  20. මෙක නම් ඇත්තටම වටිනවා වගේම රසවත් ලිපියක් සහන්, සරලයි, තේරුමක් ඇතිව,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශම්මි.. කමෙන්ට් එකේ තව කොටසක් තියෙනවද ..? අන්තිමට කොමාවක් තියෙන නිසයි ඇහුවේ..

      Delete
  21. නැගෙනහිර සිට බටහිරට පළායන්නන් ගැන කතා මම අනන්ත අහලා තිබුනත් (මේකට විශේෂ යෙදුමකුත් තියෙනවනේ defect to the west කියලා) බටහිර සිට නැගෙනහිරට පළායන්නන් ඇසූ බවක් මතකයේ නෑ.

    සිත් සසළ කරවන කතාවක්. සහන්ගේ උත්සාහය මල්පල ගැන්විලා මම හිතන්නේ/

    මෙන්න මේ තැන් දෙක ගැන නම් මට පොඩි කුතුහළයක් ආවා.

    මොහු ඉන්පසු 'සෝවියට් බසින්' අමතන්නේ කියන තැන සහන් අදහස් කරන්නේ 'රුසියන් බසින්' කියන එක වෙන්න ඕනේ. ඒ වගේම සෝවියට් 'සමූහය' කියන්නේ සෝවියට් 'සමූහාණ්ඩුව' වෙන්න ඇති. Or is it Eastern bloc?

    මම හරිද?

    ReplyDelete
    Replies
    1. හෑන්ස් උපන්නේ නැගෙනහිර .යුද්ධේ නිසා ඔහුගේ පවුලේ අය පළා යනවා හිස හැරුණු අතේ. හෑන්ස් නවතින්නේ බ්‍රිතාන්‍ය සිරකරුවෙක් වෙලා. හිරෙන් නිදහස් වෙලා වේලා ඔහු පියාව සොයාගෙන යනවා. පියා ඉන්නේ නැගෙනහිර!

      ඔව් සෝවියට් කියලා මම අදහස් කරේ " රුසියන් බස " . මුළින්ම ක්ලයිනර් ස්පියුන් කියලා ආමන්ත්‍රණය කරාට අනිත් සියලු දෙබස් වෙන්නේ රෂියන් වලින්. ජර්මන් වලින් කතා කරන්නේ ඉතාම සීමිතව ..

      ඔව්. සෝවියට් සමූහාණ්ඩුව ගැන.

      Delete
    2. මගේ කම්පියුටර් එකට වයිරස් එකක් ඇවිත් හොඳටම ස්ලෝව් වෙලා.. මම පස්සේ හරි කමෙන්ට් එකක් දාන්නම්.. උඩ කමෙන්ට් එකේ වචන අඩු බව දැන් දැක්කේ..

      Delete
  22. ජෝශප් ට හරි පාර පෙන්නලා දෙන්න කවුරුහරි හිටියනම් කියල හිතෙනවා. කොහොම වුණත් සාර්ථක පරිවර්තනයක්!

    ReplyDelete
    Replies

    1. " හරි පාර " කියලා අදහස් කලේ මේවද ලහිරු ...?

      01. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි
      02. මරණය හැමෝටම උරුමයි
      03. etc
      04. etc

      වගේ ඒවාද ..?


      ________________________________________


      ස්තූතියි ලහිරු.. හැකි වෙලාවට නැවත එන්න..

      Delete
  23. කියන්න වචන නැහැ සහන්.......

    ReplyDelete
    Replies
    1. මේ කතා හොඳටම දැනෙන්නේ පියාගේ සුවඳ , දරුවන්ගේ සුවඳ දන්න අයට විදුර..මේ කතාව මම ලිව්වෙත් මගේ පියා වෙනුවෙන්...

      Delete
  24. සහන් ... ලෝකයේ හැම කෙනෙකුටම හදවතින් අනෙකාගේ හදවතට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වූ දාට ලෝකය ගොඩාක් ලස්සන් වෙයි, හදවත් තුල ගොඩ නැගී තිබෙන බර්ලින් තාප්ප ලක්ෂ ගණනක් කඩා වැටෙයි. එත් ඒක යතාර්ථයෙන් බොහෝ දුරයි.

    ReplyDelete
    Replies
    1. \\\එත් ඒක යතාර්ථයෙන් බොහෝ දුරයි.\\

      ඔන්න ඔතනින් අපි හිර වෙනවා ඉවෝන්..:(

      Delete
  25. සෑහෙන්න හැඟීම්බර කතාවක්. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කෝරාලයෝ.. මටත් සෑහෙන්න අතීතයක් මතක් උනා මේක ලියද්දි...

      Delete
  26. බර්ලින් තාප්පය බැන්දට පස්සේ රුසියානුවන් නැගෙනහිර ජර්මනියට ආහාර සහ සීත කාලයේදී ගල් අඟුරු සැපයීම නැවැත්තුව. ඒ වෙලාවේ අපේ වහන්සේලාල බනින ඇමරිකාව තමයි Ramstein කඳවුරේ ඉඳන් උඩින් අඟුරු, අල වගේ දේවල් දැම්මේ. අපිට ඉන්දියාව පරිප්පු දැම්ම වගේම තමයි. එකක් පසුපස එකක් ඉක්මනින් ගුවන් යාන යන්න බැරි නිසා ස්තර තුනකින් ගිහින් තමයි බඩු දාල තියෙන්නේ. වෙලාව තියෙන කෙනෙක් ගිහින් බලන්න Ramstein කඳවුර ගැන. ගුගල් කෙරුවොත් හොයාගන්න පුළුවන්. දැනටත් යුරෝපයේ තියෙන ඇමරිකන් කඳවුරු වලින් ලොකුම කඳවුර Ramstein.

    ReplyDelete
    Replies
    1. වටිනා තොරතුරක් ප්‍රභාත්... තවත් විස්තර එකතු කරන්න පුළුවන් වෙලාවට..

      Delete
  27. සහන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයකට වඩා මේ පරිවර්තනය අපූරුයි කියලා හිතුනා..ආදරයක් ආත්මයක ඇට මිඳුලු දක්වාම පැතිර යන්නේ අපි මිනිස්සු නිසා වෙන්න ඇති..

    ස්තුතියි ලස්සන කතාවක් බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යෙන්ම මේ අද්දැකීම ලබපු කෙනාගේ පද ශක්තිමත් රූ..මන් හිතන්නේ විලාපයක් මෙතන තියෙන්නේ දුක කියලා කෑ ගහන... අපිත් හදවත් තියෙන මිනිස්සු නිසා ඒ විලාපය හදවතට දැනෙනවා..


      ඉස්සර නම් මම ඔහේ ලියනවා රූ .. චේද වත් බෙදන්න හිතුණේ නැහැ බම්බුව..:P ඒත් මේ පෝස්ට් එක ලිව්වේ සහන් නෙවේ ෂර්මි...! දිගටම එන්න රූ..පරණ පෝස්ට් කියවීම ගැන සතුටුයි ....

      Delete
  28. මට අද තමයි මේ ලිපිය කියවන්න ලැබුනේ.ඔබේ පරිවර්තනය නම් පංකාදුයි . ඒ වගේම කතාව හිත තුලටම කාගෙන යනවා.මට මතක් උනේ පරණ රුසියන් කෙටිකතාවක්වූ"රත්මිනි වළල්ල" ඉදිරියටත් මෙවැනි නිර්මාණ එලියට ගෙනඒමට ශක්තිය හා ධෛර්ය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. @ Wmk Samarasekara

      ස්තූතියි සමරසේකර මහත්මයා..සමාවෙන්න ඕනේ මට මේකට රිප්ලයි කරන්න වෙලා ගියා... ඔබ මේ කමෙන්ටුව හරි දකීද මන්දා ...? ඒ නිසා දිග පිළිතුරක් ලියන්නත් බැහැ....:(

      Delete
  29. ගොඩක් කාලෙකින් ඔයාගෙ බ්ලොග් එකට ඇවිත් ලිපි කීපයක් කියෙව්ව. මේක දැක්ක ගමන්ම පරිවර්තනවලට ආස නිසා කියවන්න ගත්තා. හරියට් හිතට වැදුනා. මරනය පෙනි පෙනිත් තාත්තා හොයා යන පුතෙක් ගැන.

    ඔබ රුසියන් බසත් හොඳින් දන්නවා වගේ. මොන තරම් උගතෙක්ද? ඉන්ජිනේරු තාක්ශනය, විදේශීය භාශා දැනුම, දේශපාලන දැනුම. මෙකී නොකී හැමදේම ඔබ දන්නවා. සන්තෝසයි ඔබේ කලින් අපහසුවෙන් මිදී අපට විනෝදය හා දැනුම දීමට නැවත ඉදිරිපත් වීම ගැන.

    අර සින්දුවත් download කරල එහුවා. කලින් අහල තිබුනේ නෑ. අර්තය දුන්න නිසා ඒකත් හිතේ තියන් අහද්දි රසය වැඩියි. නැවත වෙලාවක එන්නම්.

    ReplyDelete
    Replies
    1. නැහැ අනේ මම මේ කතාව හොරකන් කරා..ඊට පස්සේ විකෘති කරා.. ගොඩක් දේවල් මගේ අතින් උනා.. :(


      ස්තූතියි මානෙල් අක්කේ මාව ලෙඩ උන කාලේ වචනයකින් හරි සොයා බැලීම ගැන..ඒ නිසාමයි මම නැවත ආවෙත්.. පහු ගිය අවුරුදු 3 ටම වගේ බ්ලොග් වලින් මම ලොකු සතුටක් ලැබුවා... මානෙල් අක්කගේ විනෝදාංශය පරිවර්තන නිසා මේ පෝස්ට් එක ආසාවෙන් බලන්න ඇති...මට තේරෙනවා..


      සින්දුව ඇහුවා කිව්වේ " සල්ලාල බිරිඳ " කියන පෝස්ට් එක ගැනද ...?

      ඉඩක් ඇති වෙලාවට එන්න මානෙල් අක්කේ ආයෙම ... ඔයාගේ අර එම්බාම් ගවුම කතාව නම් බය හිතෙනවා...

      Delete
  30. අදමයි ආවේ මෙතෙන්ට ලස්සන කතාව...මම අදත් ජීවත් වෙන්නෙත් මේ සිද්දියට සම්බන්ද රටක හින්ද මේ මිනිස්සු ඒ තරම් කැපකිරීමක් තාත්තා වෙනුවෙන් කලාද කියලත් හිතෙනවා.මොකද මට හමුවෙච්ච අයනම් ඒතරම්ම ගල් හිත් තියෙන මිනිස්සු.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !