දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

June 27, 2013

තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?




            දියණිය සමග නොයෙක් වර රාත්‍රීන්හි වීදි හි ඇවිද යන්නටත් , කඩ සාප්පූන්හි ඇවිද ගොස් බඩු බාහිරාදිය ගෙන එන්නටත් සිදු වේ.ඈ ගෙදර නවතා යන්නට හැකි සෑම විටකම මා එසේ කලද රථයෙන් ගමන් ගන්නා විටකදී වුවද ඈ විමසිලමත්ව ඒ මේ අත බලයි. ඒ නොයෙක් අවස්ථාවන්හීදී නිරතුරුවම ඇයට දක්නට ලැබෙන්නා වූ දේ ගැන මාගෙන් එවෙලෙහිම ප්‍රශ්න කරන්නටද වෙයි.

              දැනට දියණිය වයස අවුරුදු 7 සීමාවෙහි පසු වුවද ඈ ඉතාම කුතුහලයෙන් ලෝකය හඳුනා ගනිමින් සිටින්ණියක්ව ඇත.ඇයගේ හැසිරීමද , ඉගෙනීමේ වේගයද බොහෝ සෙයින් වේගවත්ය.. එබැවින් මගට බැසි මොහොතේ සිට නේක විධ ප්‍රශ්න වැල් මා හා එක්ව විසඳා ගැනීමට ඇය උනන්දුය , උත්සුකය .


           විටක හිම වැටීම පිළිබඳව ප්‍රශ්න කරන ඈ තව විටක මගේ උරයට වැටි තද නින්දෙහිය.. නින්දෙන් අවදිව යලි ඒ ගැන විමසයි.. දිය බිඳිති , හිම පියළීන් බවට පත් වන්නේ යැයි මා කියූ විට " තාත්ති අපිටත් බැරිද ඒවා හදන්න " යැයි විමසා සිටි..

" පුළුවන් මගේ පැටියෝ පුළුවන්, ඒත් හිම කුණාටුවකට ඕනේ තරම් හිම හදන්න නම් දූගේ තාත්තිට බැරි වේවි " මා එසේ කියූ විට මා හා එක්ව ඇයද හුරතල් හඬින් සිනා සේ..
.hehe.

           ඇගේ ස්වභාවය මා හොඳින් අවබෝධ කරගෙන ඇති නිසා සෑම විටකදීම නගන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ඇයගේ දැනුම් තේරුම් ඇති සීමාවෙන් දීමට මා උනන්දු වෙමි. වචනයෙන් දෙකෙන් මග හැර යන්නාක් මෙන් වූ පිළිතුරු කිසි විටක නොදෙමි..
dont.


            අවදිව සිටිනා සෑම විටකම මා හා එක්ව කතා බස් කිරීමට ඈට බොහෝ මාතෘකා ඇත..හිම පියළි ප්‍රශ්නය අහවර වූ සැණින් මීළඟ ප්‍රශ්නය වලාකුළු ගැන විය හැක , එසේත් නැත්නම් පෙර දිනක දුටු යෝධ පැන්ඩාවෙක් ගැන විය හැකිය..එසේත් නැතිනම් ඒ පැන්ඩාගේ යෝධ කළු පැහැ බෝල දෙක ගැන විය හැකිය..
roll.එය කුමක් ගැන වුවද මා ඒ සියලු දෙයට මුහුණ දිය යුතුය..ඇතැම් විටක අසන ප්‍රශ්නයට පිළිතුරු දීමටත් ප්‍රථම නොදැනුවත්වම මා ඇයව සිප ගෙනද අවසන්ය..ඒ තරමටම බොහෝ ප්‍රශ්න මුවගට සිනා නංවන සුළුය ..hehe1.මගේ උරයට තුරුළුව හුරතල් හඬින් යම් යම් දෑ අසන විට , මා මගේ පුංචි කටකාර ගිරවියව සිපගෙන සිපගෙන යන වාර අනන්තය..

           මාගේ රාත්‍රී ගමන් බිමන් නිසාවෙන්
spy.බොහෝ අවස්ථාවන් හීදී ඈට වීදීන්හි සරන අබිසරු ලියන් දක්නට ලැබී ඇත. ඇයත් මාත් ජීවත් වන පරිසරය අනුව එවන් දෑ ඇගේ නෙතු ගැටීම වැළක්වියද නොහැකිය. මං මාවත් හි සරන එවැනි කාන්තාවක ඇගේ නෙතු නොගැටී සිටීමට නම් මාගේ රථය තිර රෙදි වලින් හෝ ආවරණය කර ධාවනය කිරීම සිදුකළ යුතු වේ. එවැන්නක අවශ්‍යතාවයක් මට නැත ,මන්ද කෙදිනක හෝ දියණිය මේ ගැන දැනගන්නා බැවිනි . එසේම මෙවන් දෑ ඉදිරියේදී මීටත් වඩා වැඩි වන්නා වූ නිසාද මා කෘතීමව ඇයට ලෝකයක් මවා පෑමට නොයමි..වෙනසකට ඇත්තේ ඈ ඉක්මණින් ලෝකය හඳුනා ගනිමින් සිටීම පමණකි..


              මිනිසෙකුට ජීවත් වීමට ස්ථීර වාසස්ථානයක් ඇති බවද , තද ශීතල ඇති විටක කිසිවෙක් එළි නොබසින බවද ඈ මේ වන විට හොඳින් දනී. එවැනි වටපිටාවක සීමිත පුද්ගලයන් පිරිසක් පමණක් මෙසේ එළි මහනේ සිටීම ගැන ඈ නොයෙක් වර කල්පනා කර ඇති බව මා දැනගත්තේ නොබෝ දිනකදී මගෙන් ඇසු ප්‍රශ්න මාළාවක් නිසාය..
search.


" තාත්ති තාත්ති , අර ආන්ටිලා ඇයි පාර අයිනේ ඉන්නේ "


" ඒ පුතේ නිකන් වෙන්න ඇති " ( පොලිසියේ අය වගේ රස්සාවට කිව්වොත් කතාව දුර දිග යනවා )


" එයාලට ගෙවල් නැද්ද "


" අපෝ නගරෙන් ඈතට යද්දී ඇති " ( ගෙවල් නැහැ කිව්වොත් අහයි එහෙනම් ගෙදර එක්කන් එමුද කියලා )


" එයාල මොකද කරන්නේ තාත්තේ "


" විවේකෙන් ඉන්න එන්න ඇති පුතේ " ( වෙන මොනවා කියන්නද මම )



" එයාලගේ ලොකු කුක්කු වලට සීතල නැද්ද "


             මෙවැනි මට්ටමට සංවාදය පැමිණි පසු තව දුරටත් කතා බහ වෙනතක ගෙනයෑමෙන් පලක් නැති බව තේරුම් ගත් මා , ඇයට පැහැදිළි කරන්නට තීරණය කළෙමි.


         " ඒ ඉන්නේ පුතේ පුංචි කාලේ දඟ වැඩ කරපු බබාලා . ඉස්කෝලේ යන්නේ නැතුව හිටපු නරක බබාලට ලොකු උනාම කව්රුත් රස්සාවක් දෙන්නේ නැහැනේ පැටියෝ
.. ඉතින් තාමත් එයාල නරක ළමයි වගේ විහිළු කර කර මෙහෙම ඉන්නවා... මගේ පුතා එහෙම ඉස්කෝලේ යන්නේ නැති නරක බබෙක් වෙන්න එපා ..හාද මගේ පැටියෝ ..? "

" හා තාත්ති "
( ඔන්න ප්‍රශ්නේ ඉවරයි )


        පොදුවේ ඔවුන් නරක ළමයි කොට්ඨාෂයක් ලෙස දැන් දියණිය හඳුනාගෙන ඇත. මතු දිනක ඈ මීට වඩා දෑ මෙවන් සිදුවීම ගැන ඉගෙන ගනු ඇත. එහෙත් දැනට සුළු හෝ වැටහීමක් ලබා දී තිබීම වටි යැයි මා සිතමි. නැතිනම් තව අවුරුදු කීපයකින් " තාත්ති තාත්ති , ගණිකාවක් කියන්නේ කව්ද and what is prostitution " යැයිම මගෙන් වීමසු විට තත්වය සංකීර්ණ වනු ඇත
ayyo.... ( මන්ද ඇගේ සංකීර්ණ හරස් ප්‍රශ්න කිරීමේ විධි ගැන මා හොඳින්ම දන්නා නිසාවෙනි )






මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!



ප.ලි. පෙර දිනකදී අපේ නලියාගේ පෝස්ට් එකක් තුළදී , කෙන්ජි අයියා විසින් නැගු ප්‍රශ්නයක් නිසාවෙන් මට මේ ලිපිය ලියන්නට සිත් විය..ලිපිය ලියූවද පල නොකර සිටීමට තීරණය කර සිටි අවස්ථාවේදී මා උනන්දු කර වූ මගේ මිතුරියක වන සමාධිට ස්තූති වන්ත වෙමි..!

June 23, 2013

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )



                මේ ළඟදී ඩ්‍රැකි පෝස්ට් එකක් දාල තිබ්බනේ ඩ්‍රැකිගෙ සීයලා මුහුදු ගියපු කාලේ වෙච්ච සිද්දියක් ගැන .ඒක ඇහුවම මටත් මතක් උනේ ඉස්සර කාලේ මුහුදු යන්න , හරියට පාර හොයා ගන්න , කෑම හොයාගන්න , කෑම නරක් නොවී තියාගන්න , වතුර හොයාගන්න , වතුර පරිස්සන් කරගන්න , නැව් හදාගන්න , , පෘථිවියේ සම්භවය ගැන , , මුහුදු අභිරහස් ගැන , බර්මියුඩා වගේ තැන් ගැන , අභිරහස් සත්තු ගැන, මායා දූපත් ගැන , ඒවගේ ඉන්න මායා කාරියෝ ගැන , මිත්‍යා කතා ගැන , මැරිච්ච නාවිකයන්ගේ හොල්මන් කතා ගැන ,හැතැම්ම සීය දෙසීය පේන දුරදක්නා හදාගන්න ක්‍රම ගැන , මාළිමාවන් ගැන ,කෝණික සමීකරණ ගැන , ඉරු තැටිය ගැන , තාරකා විද්‍යාව ගැන , රුවල් නැව් වලින් රට රාජ්ජ වල යන්න පාර හොයා ගත්ත වගේ දේවල් කරගත්තේ කොහොමද කියලා.....


                 මාත් කල්පනා කරා අපේ සීයගෙන් අහන්න ..මම සීයට විස්තරේ කිව්වා.. සීයේ අරුන් අරහේ මුහුදු ගිය එව්වා දාල බ්ලොග් පෝස්ට් දානවා , ඇන්ටාටිකායි , අයිස් වෙච්චයි, දර පලපුවයි, අරකයි මේකයි, මටත් දැනගන්න ඕනේ සිස්ටොන් එක කියලා... :( සීයටත් හෙන අස්පැට් ඒකට ..ඇයි යකෝ ටොන් හය හත්සීයේ රුවල් නැව්ම 8 ක් තිබ්බ මනුස්සයෙක්ගේ මුණුබුරෙක් එක එකා ළඟ ගිහින් අරක කොහොමද කරන්නේ , මේක කොහොමද වෙන්නේ , ඒක නිකම්ම හම්බෙනවද කියලා අහද්දී කේන්ති යනව නෙව...සීයා ගත්ත කටටම ඇහුවේ " මොකාගෙන්ද දැන් උඹ ඕවා අහන්න ගියේ" කියලා ..ඒ ප්‍රශ්නෙට මම දීපු උත්තරේ එක්ක තමයි සීයට යකා වැහුණේ..මම වැඩි දෙයක් කිව්වේ නැහැ ..මෙන්න මේ ටික විතරයි කිව්වේ..

" සීයට මතකද ඉස්සර කිරි වවුලේක්ගේ පස්සේ හරි කමක් නැහැ පන්නන් ගිහින් ලේ උරන් බීලා කාණු පල්ලේ වැටෙන ඩයල් එකක් හිටියා ඩ්‍රැකිව්ලා කියලා ? ආන්න උන්ගේ ඈතින් නෑදෑ වෙන කොල්ලෙක්ගෙන් තමයි ඇහුවේ " කියලා කිව්වම ..

                ඔන්න ඊට පස්සේ තමයි සීයගේ ලෙක්චර් එක පටන් ගත්තේ " තෝ දැන් ඔය වවුල් හුටපටෙත් දැනගෙනද ඔය පැත්තේ පදින්නේ ඈහ් ? තෝ දැනගන් තොගේ අප්පගේ , ලොකුඅප්පලගේ ගරුත්වේ තියන් ජීවත් වෙන්න .තෝ එක එක වවුල්ලු පස්සේ යන්න පුරුදු වෙන්න එපා කරදන්ඩ පෑදීගෙන එද්දිම .ඇහුණද උඹට ...? හිටපන් මේ දෙසැම්බරෙන් පස්සේ උඹේ ඇඟේ හිරි යවාගන්න පුළුවන් විදිහේ දේකට උඹව යවන්නම් " කියලා ..


සීයට හොඳටම තරහා ගිහින් මගේ බ්ලොග් කෙරුවාව මාට්ටු වෙලා..!


               උන්දැට කේන්ති ටිකක් අඩු උනාට පස්සේ කිව්වේ " පුතේ සබ්ජෙක්ට් එක තක්කෙටම දන්න කෙනෙක් ඉන්නවා , එයාගෙන් ඇහුවොත් සිස්ටොන් එක හරියටම දැනගත්තෑකී . ඩිංගක් හිටින්කෝ " කියලා. එහෙම කියපු අපේ සීයා කෝල් එකක් ගත්තා එයාගේ සීයට.. ඒ කියන්නේ ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahanta....

              රයිටෝ දැන් ඔන්න silentsahanla තුන්දෙනයි ..එක්කෙනෙක් නිකම්ම නිකන් silentsahan වන මම ( silentsahan the Junior ) , අනිත් එක්කෙනා ග්‍රේට් silentsahan , අනිත් එක්කෙනා ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahan..මේ පහළ තියෙන්නේ මහ රැජිණගෙන් එයාට ප්‍රසන්ට් එකක් විදිහට ලැබුණ නැවක්.ජෝෂුවා මිෂලි ෆර්නැන්ඩස් තමයි නම.( ජේෂුවා මිශැයිලි ෆර්නැන්ඩෙස්කි ).......





                ඔන්න සීයා කතාව පටන් ගත්තා..හැම දේම විස්තර ඇතුව අහගන්න ඕනේ නිසා මමත් , සීයත් ගියා ලොකු සීයගේ ගෙදර....අවුරුදු ගාණක් නැව් සේනාවක අද්මිරාල් ධූරය හොබවපු නිසා දැවැන්ත මාළිගාවක් වගේ නිවසක් තමයි එයාට තියෙන්නේ..මහා විසාල ගේට්ටුව ඇරගෙන ඇතුල් වෙන්න හැදුවට බැහැ..ගේට්ටුවම ලොකුයි නැවක රුවල් සොල්දරයක් තරමේ..වට පිට බලලා , වැටෙන් පැනලා තමයි අපි ඇතුල් උනේ..ඒවා ඉතින් වෙනම කතා නෙව..ඒවා වැඩක් නැහැ...කොහොම ගියාම මොකද තමන්ගේ සීයගේ ගෙදට්ට ..නැද්ද මන් අහන්නේ ..?



                 වත්ත පුරාම දැවැන්ත ඕක් ගස් වලින් හෙවණ වැටිලා , අඳුරුයි .. ගස් කොළන් උනත් හෙලවෙන්නේ නැහැ ,හුළං හමන්නෙ නැහැ ..පරිසරයම පාළුවට ගියපු , යෝධ නැවක හුරුවක් ගත්තේ.අපි දෙන්නා චන්ඩි පහට වැට පැනලා ආවට , අඩි දෙකක් යන්න කළින් ඇඟේ මයිල් කෙළින් වෙලා යටි බඩ හිරි වැටෙන්න ගත්තා මේ පරිසරයේ වෙනසත් එක්ක..බැලු බැලු අත මළ මිනි වගේ නිසොල්මනේ අපි දිහා බලන් ඉන්න දැවැන්ත ඕක් ගස් ...


             ඒ හැම ඕක් ගහක්ම කිව්වේ එකම දෙයක් විතරයි , ඈතින් පෙනෙන මන්දිරේ දිහාට අත දික් කරමින් වගේ " අර පැත්තෙන් සර් , අර පැත්තෙන් සර් " ..


මෙම කතා මාළාව සඳහා ඉදිරියේදී අතුල සිරිවර්ධන මහතා ව්සින් සිතුවම් නිර්මිත කරණු ලැබේ.



                අපි දෙන්නත් හෙමීට හෙමීට ඇවිදගෙන යන්න පටන් ගත්තා මාළිගාව දිහාට , අපි එනතුරු අපිව පිළිගන්න බලන්න ඉන්න අමුත්තා ගැනත් හිතමින් ... අක්කර ගාණක් මැද්දෙ තනි උන පාළු මන්දිරයක ජීවත් වෙන එක මොන තරම් භයංකර දෙයක්ද කියලා වැටහෙන්න ගත්තේ මෙහෙම ඇවිදිමින් ඉස්සරහට යද්දී ...මහ මුහුදේ තියෙන පාළු ගල් පර රාශියක් මැද්දේ , අඳුරු කුණාටුවක් තියෙන වෙලාවක , යෝධ රුවල් නැව් සමූහයක ප්‍රධාන අද්මිරාල් විදිහට රාජකාරී කරද්දී දැනෙන හැගීමත් මෙහෙමම වෙන්නෑති නේද කියලා මට දැනුණා..ඒ එක්කම මුළු ඇඟම හීතල වෙලා ගියා..ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ හිත බයෙන් මිරිකිලා යනවා...දැන් ආයේ හැරෙන්නත් බැහැ..

ටිකෙන් ටික මන්දිරේ පේන ඉස්සව්වට ලන් උනා. ...






             දොරකඩම තියෙන  දිය පොකුණක් ඇහැ ගැටුණේ මේ වෙලාව්දී..ඉහින් කණින් දාඩිය දාගෙන එමින් තිබුණ නිසා වතුර ටිකක් මූණට ගාගන්න කියලා හිතන් පොකුණ කිට්ටුවට උනා අපි දෙන්නා .. මම ඇඳන් හිටපු ඝන ලෝම හමෙන් හදාපු උඩු කය කබාය ගලවලා පොකුණ අද්දරින් තියලා , හෙමීට අතින් වතුර ටිකක් ගන්න විල් කණ්ඩියට ලන් උනා..මෙහෙම ඉන්න අතරේ මම දැක්කා රත්තරන් පාට යෝධ මාළුවෙක් වගේ දෙයක් දිය ඇතුළේ ඉඳන් උඩට ඇදීගෙන එන බව..අඩිය ටිකක් පිටිපස්සට කරන් ඈත් වෙලා බලන් හිටියත් දිය මතුපිටටම ආවේ නැහැ ඒ අමුතු චායාව..මමත් ඉතින් මූණට දිය දාගෙන , අත් ලේන්සුවෙන් මූණ පිහ දමමින් ඉන්න අතරේ මට දැනෙන්න ගත්තා , කව්රුන් හෝ මා දිහා බලන් ඉන්න බව.. ( කෙනෙක් අපි දිහා බලන් ඉද්දි අපිට ඒක දැනෙන්නේ..ආන්න ඒ වගේ දෙයක් මේක )

එක ක්ෂණයෙන් මගේ ඇහැ ගියේ වතුර විලේ හිටපු රන්වන් පාටක් තිබුණ රූපෙට.. ..


              දෙවියෝ සාක්කි දෙයියනේ... මට ඇස් අදහාගන්න බැරි උනා මගේ ඇස් ඉස්සරහ ඉන්න කෙනා දැක්කම.. " සීයේ සීයේ මේ බලන්නකෝ " කියලා මට කියවුණේ ඉබේටම..මා පිටිපස්සෙන් හිටපු සීයත් එහෙමම ඉඳන් මා දිහා බැලුවා..

" අනේ පුංචි කෙල්ලේ උඹ තාමත් ඉන්නවද " කියලා සීයට කියවුණේ එතකොට ... ඒක හරිම වේදනාත්මක ස්වරයකින් සීයට කියවුණේ..


             ඒ පුංචි රූපෙත් අපි දිහාම බලන් උන්නා එක දිගටම ... සීයා දිහාත් , මා දිහාත් කීප විටක් මාරුවෙන් මාරුවට බලලා නැවත නොපෙනීම ගියා දිය ඇතුළට... මගේ තොල කටත් වේලිලා ගියා මේ වෙච්චි දේට.. මම නැවත සීයා දිහාට හැරුණට , එයා ඒ වෙනකොටත් හිටියේ මන්දිරේ දොර ළඟ.. කලුවර ලීයෙන් කැටයම් කරලා හදාපු අඩි 14 ක් විතර උස , අඩි 6 විතර පළල විසාල දොරක්...




              දොරේ තිබුණ සීණුව තුන් පාරක් හැඬවීමත් එක්කම විසාල සද්දයක් නගමින් දොර ටිකෙන් ටික ඇරෙන්න ගත්තා..අපිවත් බලෙන්ම වගේ මන්දිරේ ඇතුළට ඇදිලා යනවා වගෙයි දැනුණේ... ..


               කොටි හමෙන් හදාපු විශාල බුමුතුරුණුවකින් මුළු බිම් මහලම වැහිලා ගිහින් ... දැවැන්ත කොටියෙක් උඩින් නේද අපි ඇවිත් තියෙන්නේ කියල දැනුණේ ,දොර වැහෙන සද්දේ ඇහිලා මම පිටිපස්ස බලපු වෙලාවේදී..ඇතුළු වීමත් එක්කම මනරම් විසිත්ත කාමරයකට නිරාවරණය වුණු මුළු ගේම යුරෝපීය ගෘහ භාණ්ඩ වලින් පිරිලා , ගේ ඇතුළේ තියෙන අඩ අඳුර එක්ක ඒ හෑම දෙයක්ම පේන්නේ නිසොල්මන් මළ සිරුරු වගේ... ගේ ඇතුළෙන් සහන් වීණා හඬක් සමග මුහු වෙච්චි හුළඟක් හමනවා වගෙයි ඇඟට දැනුනේ ...


" මේ මහත්තුරුන්ව පිළිගන්න ලොකු මහත්තයා උඩ අමුත්තන්ගේ කාමරේ බලන් ඉන්නවා. කරුණාකරලා මා පසු පසින් එන්න. " කියලා ස්කෑන්ඩිනේවියන් උච්චාරණයක් තිබුණ , ඉතාම සුහදශීලී විදිහට අපව ආමන්ත්‍රණය කරපු , වයස් අවුරුදු 24 ක් විතර වෙන සුරූපී තරුණ ස්ත්‍රියක් අපි ඉදිරියේ පෙනී හිටියේ වීණා රාවයට හිත යමින් තියෙන මොහොතේ..!

               මගේ තනියට සීයා ළඟින් ඉන්න නිසාත් , ඔහු පළපුරුදු කාරයෙක් බව තේරුම් ගිය නිසාත් නොවෙන්න නම් , මේ වන විට මගේ කියුම් කෙරුම් අහවර වී ඇති බව මට තේරුම් ගිහින් තිබුණේ... කර වැහෙන්න සුදු පාට සේද සළුවක් තිබුණ තද රත් පැහැදිගු ගවුමකින් සැරසිලා ඇය හිටියේ.. රන් වන් පාට දිගු කොණ්ඩය , හිසේ උඩට වෙන්න කොණ්ඩා මෝස්තරයක් ආකාරයට ගොණු කරලයි තිබුණේ..ඇගේ සිහින් ගෙලත් , කේස් කළඹත් අතර වෙනස සෙවිය නොහැකි තරම් ඇගේ සම දීප්තිමත්..




" මා පසු පස එන්න මහත්වරුණි "
යැයි නැවත අපව අමතමින් , ඇසින් ඉඟි කරමින් උඩු මහළ වෙත දිවෙන දැවැන්ත තරප්පු පෙළ වෙත අත දිගු කරමින් ඇය කියා සිටින්නට උනා..

June 11, 2013

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?

නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මනුස්සයා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ. රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක පාන්කඩ මිනිස්සුන්ගේ ටෝක් වලට සද්දේ වහ ගන්න එකෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..


මෙම පෝස්ටුවේ මුල් කොටස මාතලන්ගේ  Vulgar Journilism පෝස්ටුව සඳහා මා යෙදු කමෙන්ටුවක් ඇසුරෙන් සැකසූවක්.මෙවැනි මාතෘකා ගැන සඳහන් කරන විට ප්‍රශ්නේ සියලු සිද්දීන් ගැන සාකච්චා නොකර එක් එක් කොන් වලින් අල්ලාගෙන කතා කිරීමෙන් පලක් නැහැ.ඒ නිසාම ලිපිය කොටස් වලට කඩා වෙන වෙනම පල කිරීමත් පලක් නැහැ.මම බොහොම තදින් විශ්වාස කරන දෙයක් තමයි ප්‍රශ්නයක් ඇත්නම් කොන් වලින් අල්ල නොගෙන, සියල්ල ගැනම එක පාර කතා කරන්න ඕනේ කියන දේ. කොන් වලින් අල්ල ගන්න ඇත්තෝ කිසිදා සත්‍ය නොදකී...

මතකද මේ යුගය ලංකාවේ ...?අපි හැමෝම බිම වාඩි වෙලා අම්මලා එක්ක TV බලපු කාලේ .


         ඉස්සර ජාතික රූපවාහිනිය තුල මොන තරම් හොඳ වැඩසටහන් ගියාද ...? සෙනසුරාදා , ඉරිදා වෙනකම් ඉන්නේ හොඳට ඔලුව පුරවා ගන්න දැනුමෙන්.ඉස්සර අපි ලෝකය ගැන දැනගත්තේ ඉරිදා සෙනසුරාදට.. ( පුද්ගලිකව මට පුංචි කාලේ ඉඳන්ම සැටලයිට් තිබ්බා ගෙදර..ඒත් ඒවට වඩා මමත් බැලුවේ ලෝකල් ප්‍රෝග්‍රෑම් ) එක පාරට වක්කඩ කැඩුවා වගේ ලෝකෙම බක්කවල් ආවේ නැහැ සහ දුන්නේ නැහැ ඒ කාලේ. වැදගත් මොළයක් ඇති , විචක්ෂණ ශීලී මනුස්සයෙක් තමයි ඒ හැම දෙයක්ම මෙහෙයවෙව්වේ.. අද කෝ ඒවා ..?



              ඔබත් හොඳින් දන්නා තව බ්ලොග් හිමියෙක් ඉන්නවා බොහෝම තදින් මාධ්‍ය එක්ක වැඩ කරපු. ඒත් අවාසනාවට ඔහු මා තරම් වත් මේ ගැන කතා කරන්න කැමැත්තක් නැහැ. ඔහු අදහසක් ඉදිරිපත් කළොත් වාසනාවක්.. රටේ අවාසනාවත් ඒකමනේ. නියම සුදුස්සෝ කතා කරන්නේ නැහැ. ඔවුන්ට ජීවිතයම එපා කරවලා බළධාරීන් විසින්..!

           ඇයි ඒ වගේ මනුස්සයෙක්ට නාළිකාවක රැඳෙන්න බැරි ...? ඇයි ඒ වගේ මිනිස්සු එළවලා ගස් බල්ලෝ ඔබන්නේ ..? එක ගස් බල්ලෙක්ගෙ බලු කතාවක් ඇති , බලු අදහසක් ඇති රටක් වළපල්ලට ගෙනියන්න. ඒක නේද අද වෙලා තියෙන්නේ ...?

             අද වෙනකොට හැමෝම මාධ්‍ය කියලා හිතන්නේ අන්තිමට ගස් බලු , පාදඩ දේවල් වලට. විශ්ව විද්‍යාලයක ජන මාධ්‍ය උපාධියෙන් බැහැ ජන මාධ්‍ය වේදියෙක්ව හදන්න. එහෙම හැදෙන අය හැසිරෙන්නේ නූතන බටහිර වෛද්‍ය වරුන් වගේමයි. අද වෙනකොට මූලික හරය අමතක කරලා වෛද්‍ය වෘතියේ..



              විශ්වවිද්‍යාලෙදි උගන්නන්න පුළුවන්
සභාවක කතා කරද්දී අත පය හොලවන හැටි විතරයි . ඉතින් එවැනි පිරිස් දන්නේ අත පය හොලවන්න විතරයි . හරවත් දෙයක් කතා කරලා  පැත්තකට වෙන්න දන්නේ නැහැ..අද නාලිකා වලට වෙලා තියෙන්නේ ඒකයි. ලස්සන බෝනික්කියෝ අත පය හොලවනවා , තොල් හොළවනවා විතරයි .හරවත් දෙයක් එන්නේ නැහැ..

               ඒත් එවැනි බෝනික්කියන්ව එලවන්න හිතෙන්නේ නැහැ. මොකද අපිට ස්ත්‍රී සුවය ඒ ඇත්තියෝ ලබා දෙනවා නොමිලේ..ඒ නිසා ඉතින් ඉරිදට උදේම TV එකේ ඉන්නේ බෝනික්කියෝ..

              වැඩසටහන් නිෂ්පාදන ගැන කතා කරත් කියන්න තියෙන්නෙම ඔය ටිකමයි. බුද්ධියක් ඇති , හරියට පොයින්ට් එකට කතා කරගන්න පුළුවන් , තමන් නිෂ්පාදනය කරන වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකයෝ හොයාගන්න මොළේ ඇති මිනිස්සු දැන් නැහැ.. ඉන්නේ ඔක්කොම එක එක්කෙනාගේ හෙන්චයියෝ.. අරයගෙ මෙයා දාගන්න හරි , මෙයාගේ අරයා දාගන්න හරි බලනවා මිසක් හරි හමන් මනුස්සයෙක්ගෙන් පලක් ඇති අදහසක් අරන් කරන වැඩසටහනක් හදන්න උවමනාවක් නැහැ...

          අන්තිමට වෙන්නේ පිට කසා ගැනීම්..ප්‍රේක්ෂකයන්ට වැඩක් තියෙනවද  එක එක්කෙනාගේ පිට කසා ගැනීම්..?




අද අපි දකින්නේ පිට කසා ගැනීම් වල ප්‍රථිපල. සියලුම වගකිව යුතු තනතුරු වලට දැන් පත් වෙලා ඉන්නේ ඔය මූලධර්මය මත ආව අය..

සරළව කිසිම දෙයක් කරන්න බැහැ.

01.හරි හමන් මනුස්සයෙක් දාල වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..

02.හරි හමන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙනත් නිවැරදි බුද්ධාගම කියන්නේ මොකක්ද කියන දේ ගැන වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..

03.උසස් පෙළ ළමයි සඳහා අධ්‍යාපනික වැඩසටහන් ටිකක් කරන්න නැහැ..

04. ගෘහණියන් සඳහා "මල් පත්තර ටයිප්" නොවන වැඩසටහන් ටිකක් කරන්න නැහැ.

05.පුංචිම ළමයි සඳහා සිබිල් නැන්දගෙන් අපි විඳපු මිහිර එන්න ළමා වැඩසටහන් පෙළක් කරන්න විදිහක් නැහැ..

06.අවුරුදු 15 / 16 අයගේ මොළ වලට සාරවත් දෙයක් දැනෙන්න වැඩසටහනක් කරන්න නැහැ..

07. 20 / 25 අයට තාරුණ්‍ය සහ වෘතීය පසුබිම් වගේ මාතෘකා යටතේ වැඩසටහනක් කරන්න නැහැ..

08.30-40 අයට සරළ වින්දනාත්මක වැඩසටහනක් කරන්න නැහැ..

09.සංගීත වැඩසටහනක් කරන්න නැහැ ඉස්සර මනෝහාරී ටයිප්.(පහු ගිය දවස් වල මහේෂ් කරා ලස්සන වැඩසටහන් ටිකක් ..අන්න ඒවගේ )

10. 31-48 වයස් මට්ටම් වල පිරිසට දේශපාලනය , කාලීන වැඩසටහන් කරන්න නැහැ ටිකක් බරපතල මාතෘකා එක්ක යන..


මේ කිසිම දෙයක් කරගන්න බැහැ..

          ඩිරෙක්ටර් බෝර්ඩ් දාල , ශෙයාර් හෝල්ඩර් අත්සන් කරලා , රේටින්ග්ස් ඇප්රූව් කරන් , මාර්කටින් ඇප්රූව් අරන් , ඇමතිගෙන් අහලා , මුදලාලිගෙන් අහලා කරද්දී මේ මොනවත් ඇප්රූව් වෙන්නේ නැහැ.එවැන්නන්ට  ඕනේ සල්ලි ... මේකෙන් කීයක් එනවද සහ රේටින්ග් කොහොමද කියන දේ විතරයි එතැනදී වැදගත්..



        වෙන එකක් තියා චැනල් බ්‍රේක් ඩවුන් එකක් ගියත් නිව්ස් බාර් එකක් දාන්න බැහැ..ඒකටත් කොහෙවත් ඉන්න අය ඇප්රූව් කරන්න ඕනේ..මේ දවස් වල රස්නේ නිසා රෑට ඉන්දියන් චැනල් පේනවා ලංකාවේ ගොඩක් චැනල් උඩ.( ඒක වෙන්නේ අයනගෝලයේ පරිවාර ස්තර වල ඝනත්වය වෙනස් වීම නිසා..එතොකොට රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න බැහැ ටාර්ගට් ඒරියා එකට.ට්‍රාන්ස්මිෂන් ජෑම් වෙනවා . ඒක වෙනම මාතෘකාවක්. )

           එවැනි අවස්ථාවක කරන්න පුළුවන් තාක්ෂණික දේවල් ගැන පැහැදිළි කිරීමක් වත් දාන්න ඉඩක් නැහැ පවතින ක්‍රමය එක්ක. ඒකට ඇප්රූව් අරන් එද්දී ඍතු මාරු වෙලා. ලබන අවුරුද්දෙත් මේ සංසිද්ධිය  වෙද්දී පුද්ගලයෝ මාරු වෙලා..එක කෝල් එකෙන් අවශ්‍ය තීරණයක් හරි විදිහට අරන් වැඩක් කරන්න පුළුවන් තත්වය මග හැරිලා..වටේ යන්න ඕනේ මේවැනි දේකට පවා..

කොටිම්ම මගේ චැනල් එකේ මට add එකක් දාන්න කොහෙවත් ඉන්න අයගෙන් මට පර්මිෂන් ගන්න වෙලා..ඔතොකොට මම කව්ද මේකේ ...?



            මේ සියලු බැඳීම් වෙනස් වෙන්න ඕනේ.. නිර්මාණයක් එළියට දාන්න හෝ හරි හමන් දෙයක් , වැඩසටහනක් ඉදිරිපත් කරන්න නම් මේ බැඳීම එක්ක බැහැ..මැණික් යට ගිහින් බොරළු මතු වෙලා තියෙන යුගයක මැණික් උප දාන්නේ කොහොමද ..?



             එක එක හාල් කෑලි අරන් පුලුවන්ද රටක ඔලු හදන්න...? දෙයක් කෙළින් කතා කරන්න එක නිවේදකයෙක් අද ඉන්නවද ..? හරි පොයින්ට් එකට ඕන දෙයක් ලෝස් නැතුව ටෝක් කරන්න පුළුවන් කෙනෙක් අද ඉන්නවද ...? හරවත් සාකච්චා ජන මාධ්‍ය තුළින් මතු වෙද්දියි මිනිස්සු ඇහැරෙන්නේ..නිදාගෙන ඉන්න පොඩි එකා ඇහැරවලා  " අන්න බලපන් ප්‍රෝග්‍රෑම් " කියලා කොල්ලව කූද්දන් එන්නේ එතොකොට ... දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා මිනිස්සුන්ගේ ඔලුවලට ඔබන්න නම් හොඳ දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ ජන මාධ්‍ය ආයතනවල.. ඉස්සර හිටපු නිවේදකයෝ කතා කරද්දී අපි කට ඇරන් කොච්චර බලා ඉන්නවද ...? අද කෝ ඒ මිනිස්සු ...? නාලිකා ප්‍රධානීන් කෝ ...? ඇයි ඒ වගේ අයව ගන්නේ නැත්තේ...? අරන් හරි හමන් ගමනක් යන්නේ නැත්තේ ඇයි ...?


             හේතුව තමයි නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මගුලා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ.රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක හිස් මිනිස්සුන්ගේ  ටෝක් වලට සද්දේ වහ ගන්න කෙනෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..


*********


              අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන කර හඳුනා ගන්න ඕනේ.නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන සහ බොහෝ දෙනෙකුට කරගන්න බැරි දේත්..


සාමාන්‍ය මට්ටමෙන් කොපමණ මුදලක් එක් මාසයක් තුල අවශ්‍යද කියන දේ මේ සටහනෙන් දැනගන්න පුළුවන්.




සාමාන්‍යයෙන් MCR එකේ current බිල
එනවා මාසෙකට ලක්ෂ 6 විතර .

ප්‍රධාන ට්‍රාන්ස්මීටර් වල බිල එනවා ලක්ෂ 35 විතර නුවර සහ කොළඹ පමණක් විකාශය කලත්.( ප්‍රධාන ට්‍රාන්ස්මීටර් එකේ AC බිලම එනවා
මාසෙකට ලක්ෂ 2  )

MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( ඒවගේ MCS 3 වත් සේවයේ යොදවන්න වෙනවා )

5kw UHF ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 165 විතර වෙනවා .

පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..

ස්ටුඩියෝ වල පාවිච්චි කරන කැමරාවක් වෙනවා ලක්ෂ 6 විතර . ( එවැනි කැමරා 9 වත් ඕනේ )

වෘතීය මට්ටමේ සැටලයිට් ඩිකොර්ඩර් එකක් ලක්ෂ 6 විතර .. ( එවැනි උපකරණ 6 වත් ඕනේ )

අඩි 12-16 විෂ්කම්භය තියෙන සැටලයිට් ඩිෂ් එකක් ලක්ෂ 15 විතර . ( ඒ වගේ ඩිෂ් 6 වත් ඕනේ ගරුත්වේ බේරගන්න නම් )





සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 350 විතර .{ මොකද 42,000Km (කිලෝ මීටර් හතලිස් දෙදාහක්) දුර යනවා සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකේ සිග්නල් එක }




ඒවට ගන්න අනිත් කළමනා ටිකට තව ලක්ෂ ගාණක් යනවා.



         ඔයාල බලන CNN, FOX, BBC , AljaZ, නිව්ස් විනාඩි 30 වෙනුවෙන් අපිට ගෙවන්න වෙනවා ඒ ඒ ආයතනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 300 විතර . ( අපි එයාලට ගෙවනවා මිසක් , එයාල අපිට ගෙවන්නේ නැහැ )



          දැනට සතු විවිධ ටෙලි නාට්‍ය , ගීත , චිත්‍රපට එකතුවේ වටිනාකම බැලුවොත් රුපියල් බිලියනයක් විතර.ඒ වගේ දෙයක් හිතු මතේ ප්ලේ කරන්න බැහැ ලයිබ්රි එකේ තිබුණ පලියට.
විදේශීය ටෙලි නාට්‍ය වෙනුවෙන් ඒවායේ භාරකාරත්වයට කෝටි ගාණක් ගෙවන්න වෙනවා විකාශන අයිතිය ලබා ගන්න.


          තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර .  රන්මිණි තැන්න හදන බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට.ඔක්කොම එකතු කර බලන්න...

      හරියට TV channel එකක් කරන්න පුළුවන් විදිහට සියල්ලම හදන්න ලක්ෂ 1500 විතර යනවා ...
සේවයකන්ගේ පඩි වලටම මාසෙකට මුළු වියදම විතරක් යනවා  ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ කරන තැනක උනත් )

         ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම් අඩුම තරමේ ඕනේ මාසෙකට ලක්ෂ 270 විතර ..( මීට වඩා වියදම් තියෙනවා බාහිර විකාශන , වැඩටසහන් , කාලීන වැඩටසහන් , වැඩසටහන් වලට එන අයට කරන ගෙවීම් , හෝටල් ගාස්තු , ඉඳුම් හිටුම් , ප්‍රවාහන , තේ කෝපි වඩේ කිරි තේ පැන්ටා වියදම් ,)

කීදාහක් හොයන්නද දැන් ...?


             සාමාන්යෙන් පුද්ගලිකව නාළිකාවෙන් නාළිකාවට , වැඩසටහනෙන් වැඩසටහනට අය කරන ගෙවීම් විවිධයි.ඒ වගේම නාළිකාව සිංහලද , ඉංග්‍රීසි කියන දේ අනුවත් වෙනස් වෙනවා..මේ මුදල හොයන්න නම් අඩුම තරමේ එක තත්පර 5 ක් සඳහා 20,000 ක මුදලක් වත් අය කරන්න වෙනවා නේද ...? ( ඒ කියන්නේ එක තත්පර 5 ක වෙළඳ දැන්වීමක් සඳහා මුදල 20,000 යි.එම වෙළඳ දැන්වීම
නැවත ප්‍රචාරය කරන්න නම් නැවත 20,000 ක් අය කරනවා )


              කෙනෙක් හිතන්න පුළුවන් එක පැයකට මිලියන 10 විතර හොයන්න පුළුවන් නේද කියලා ..? ඒත් සැමවිටම ඒක සාධාරණ නැහැ .හොයන්න පුළුවන් තැනදී කෝටි ගණන් හොයනවා..එහෙම හොයන්නේ ලාභයක් නැතිව විකාශනය වන වැඩසටහන් සඳහා.උදාහරණයක් තමයි CNN නිව්ස් විකාශනය කිරීම පාඩුයි.ඒ වෙනුවෙන් අපි ගෙවන මුදල සහ අපිට ලැබෙන මුදල අතර ඍන වෙනසක් එන්නේ.

            CNN නිව්ස් එක විනාඩි 28 විතරම තියෙනවා..අපිට ඉතුරු විනාඩි 2යි. මේ විනාඩි දෙකට කොහොමද අපි ලක්ෂ කීපයක් හොයන්නේ ...? පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි ටයිම් ස්ට්‍රෙච් කරන එක. එතොකොට පුළුවන් ප්‍රේක්ෂකයන්ට නොදැනී විනාඩි කීපයක් ඉතුරු කරගන්න .ඒත් ලයිව් නිව්ස් එකක් යවද්දී මේ ක්‍රමය පාවිච්චි කරන්න බැහැ. හොඳටම දක්ෂ ප්‍රධාන පාලක මැදිරි ක්‍රියාකරවන්නන් ඉන්නවනම් පුළුවන් චැනල් එක බ්ලැක් නොයවා දඩ බඩ ගාලා add ගහන්න...

             දැන් මේ විදිහට add ගහද්දි තව බාදකයක් එනවා .ඒ තමයි CNN නිව්ස් ප්ලේ වෙන කාලය සඳහා
ගිවිසුමක් ගහලා වෙළඳ දැන්වීම් බාර ගත්තොත්,  අනිවාර්යෙන් ඒ add ප්‍රමාණය ගහන්නම ඕනේ..නැත්නම් අදාල වෙළඳ දැන්වීම් සමාගමට පුළුවන් අපිට කිසිම ගෙවීමක් නොකර ඉන්න මුළු මාසයම සඳහා.

             බැරිවෙලාවත් CNN නිව්ස් එක විකෘති වීමක් වැනි දෙයක් ( අරක්කු බොන්න එපා >>>> අරක්කු බොන්න ) උනොත් add සහ CNN නිව්ස් අතර ටයිම් කෝඩ් නොගැලපිලා තව ගැටළුවක් වෙනවා.ඒ තමයි CNN එකෙන් අපේ විකාශන බලපත්‍රය අහෝසි කරනවා..එහෙම උනොත් ආයේ CNN නැහැ. මෙවැනි ගැටළුවක් ආවොත් නාළිකාවේ ප්‍රධාන විධායක විදිහට මොකද කරන්නේ ...?


            MCR එන්ජිනියර්ගේ වැඩ තහනම් කරන්නද ..? ඒ මනුස්සයා මොකද කරන්නේ එයාට ළඟා වෙන්න බැරි ටාර්ගට් එකක් දීලා තියෙනකොට ...? MCR වැඩ කරන අයව මල් වගේ බලාගත යුත්තේ  මේකයි..ඔවුන් තමයි නාළිකාවේ හදවත..සමහර අය ඉන්නවා එක දිගට MCR එක ඇතුලේ සතියක් විතර වැඩ කරන  අය..සූර්යාලෝකය දකින්නෙත් සතියකින් විතර බොහෝ දෙනා. දක්ෂ නිළධාරීන්ම තෝරාගන්නේ මේ නිසයි. මෙවැනි කැප කිරීම් රාශියක් මැද්දේයි මේ සියල්ල දුවන්නේ. MCR වැඩ කරන කෙනෙක් අස් උනොත් එයාගේ අඩුව පුරවන්න බැහැ නිකම්ම නිකම් කොල්ලෙක්ට මොරටුවෙන් සහතික ගොඩක් එක්ක ආව ! දක්ෂම කෙනාව තොර ගන්න වෙන්නෙත් දක්ෂයෙක්ට විතරයි ..



                අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන් කර හඳුනා ගන්න ඕනේ.තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. මිනිස්සු තරහා වෙනවා.බිරිඳ , දරුවෝ තරහා වෙනවා. පුද්ගලික ජීවිතේ විනාසම වෙනවා ..


                මෙවැනි උභතෝකෝටික ප්‍රශ්න සිය දාහක් එනවා නාළිකාවක් කරද්දී..එක්කෝ ගුණාත්මක භාවය නැත්නම් ඔහේ මොනවා හරි ගහලා කීයක් හරි හොයන් පැත්තකට වීම.වර්තමානය වෙද්දී මොන තත්වයද උදා වෙලා තියෙන්නේ කියන දේ මේ සටහන කියවන බොහෝ දෙනාට වැටහේවි.මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන ..කෙසේ හෝ යහපත් විධායක ධූරයක් යටතේ ක්‍රියාත්මක වන ඉංග්‍රීසි , දමිල සහ සිංහල වැඩසටහන් මිශ්‍රව විකාශනය වන TV චැනල් එහෙක අවශ්‍යතාවය ලංකාවට තදින් උදා වෙලා තියෙන බව නම් මේ හැමෝම පිළිගනී..




එවැනි නාළිකාවක් තුළින් කල හැක්කේ කුමක්ද ...?


                  නැවත ශ්‍රී ලංකාව තුල උසස් ගුණාත්මක වැඩසටහන් විකාශනය කරන්න පුළුවන්.. පුංචි දරුවගේ සිට වැඩිහිටියා දක්වා ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්.යහපත් ආකල්ප වලින් මනස පිරෙන්න පිරෙන්න එකිනාකට ද්වේශ කරමින් ආත්මාර්ථ කාමීව මේ යන ගමනේ වේගය අඩු කරන්න පුළුවන් කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. අවුරුදු දෙකක් විතර යද්දී ආකල්පමය වශයෙන් වෙනස් වූ ප්‍රේක්ෂකයන් පිරිසක් හැදේවි. 


දේශපාලනය , තාක්ෂනය , නීතිය , සමාජ කරුණු , සෞඛ්‍ය කරුණු , සංගීතය , රසාස්වාදය , ආර්ථිකය  ගැන නිවැරදි වැටහීමක් ඇති ජනතාවකට යන්න පුළුවන් දුර වැඩි සහ යන ඩිංග සාර්ථකයි ...!

 
Update  
මෙහි සඳහන් අක්ෂර හා භාෂාමය ගැටළු කීපයක් වෙනස් කරන ලදී ...

June 1, 2013

මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!




               සවස් වන්නට ප්‍රථම පුංචි දෝණියා නහවා හොඳින් ඇගේ කොන්ඩයද පිස දැමුවේ රෑ වන විට පිණි වැටි ඇය යලි අසනීප විය හැකි නිසාවෙනි .මීට දෙදිනකට ඉහතීද දෝණි  රෑ වන විට ගොරෝද්දේ අදිමින් අපහසුවෙන් නිදන්නට විය.



" සුදු මැණික..... , අපි මොනාද ඇඳන් යන්නේ පැටියෝ ? "


"මෙන්න මේ රෝස පාට ගවුම ." ඒ වන විට මා අත තිබු ගවුම පෙන්වමින් ඈ කීවා ය .


 ඇයට ඒ ගවුම අන්දවා මා කුස්සියට ගියේ ඉතුරුව ඇති යමක් ඇත්නම් සතෙකුට කන්නට පහල ඇති බංකුවෙන් තැබීමටය.


මා කාමරයට විත් ඇඳුම් ඇඳ  නැවත සාලයට එන විට ඈ සතුටින් අපි දැන්ම යනවාදැයි ? මෙන් බලා ඉඳ හුරතල් වෙමින් මා සමීපයට ආ වාය ..

මා ඇයවද වඩාගෙන ඉතුරු අඩුම කුඩුම ටිකද එක් අතකින් ගෙන දොරගුළුද දා නිවසින් පිට විය.


යන්තමින් කරුවල වැටීගෙන එයි , ඒත් සමගම දැල්වීමට පටන් ගන්නා වෙසක් කූඩු දකින දෝණි

" ආන් බලන්න තාත්ති අර " යැයි සිඟිති අත දිගු කරමින් ලස්සන කූඩුවක් දකින විටම  මට පෙන්වයි .

" හ්ම්ම්ම් "  රථයේ වේගය තවත් ටිකක් අඩු කර  මාද ඒ දෙස බලයි .


කෙමෙන් කෙමෙන් වෙසක් කලාපය ඇති පෙදෙසට අප ඇතුළු විය , තද බදය අස්සෙන් ඉඩක් ඇති තැනක රථය නැවැත්වූ මා පුංචි දෝණිය සමග මහ වීදිය දෙසට ඇවිද ගියෙමු.


රෝස පැහැ ගවුමකින් සැරසුන මගේ පුංචි කිරිල්ලිය  ටික දුරක් යන විට තාත්ති වඩා යැයි කියමින් මා උරයට පැන්නාය ..


 අද මගේ කුරුළු පැටියා ඉතාම සතුටිනි , මග දෙපස  ඕනෑකමින් බලමින් සෑම දෙයකම රසය විඳගනිමින් තාත්ති තාත්ති යැයි කියමින් ඉගිලෙන්නට තරම් මිහිරකින් ඈ තනි  වෙයි.


නැවත " තාත්ති අර " යැයි ඈත ඇති යමක් පෙන්වයි ..

"  තාත්ති තාත්ති අරක කොහොමද කරන්නේ " ... තවත් ප්‍රශ්නයකි


ඕක රත්තරන් මෙහෙමනේ ...... කියමින් මා  එය ඇයට තේරෙන ලෙස විස්තර කරයි


මේ ගෙවෙන්නේ ඇගේ තේරුමින් ගෙවෙන දෙවන හෝ තෙවන වෙසක් උත්සවයයි , ගිය අවුරුද්දට වඩා මේවර වැඩි මිහිරක් ලබන්නේ, ප්‍රශ්න ගොඩාක් ඇසෙන්නේ එහෙයිනි .


" පුතාට බොම්බයි මොටයි අරන් දෙන්නද තාත්ති ...? "



ඒත් සමග මාද මගේ පුංචි කාලයට දිව ගොසිනි ..තාත්ත සමග බයිසිකලේ වෙසක් බලන්නට
ආ හැටි ....

තාත්තගේ අතේ එල්ලෙමින් සෙනග මැද්දේ අතරමන් වේයැයි බියෙන් තව තවත් ඔහුට තුරුළු
වූ අන්දම ......




  " හා තාත්ති " යැයි මගේ පුංචි කුරුළු පැටියා කියන තෙක්ම ඒ සිහිනෙන් මා අවදි වූයේ නැත .

" මගේ දෝණිම ගන්නවද තාත්ති සල්ලි  දෙන්නම් ? හා......ද ? " පර්ස් එකෙන් මුදල් ගත් මා ඈ අත තැබීය ..


ලොකු බැලුම් බෝලයක් තරම වූ බොම්බයි මොටයි ගුලියක් අතැතිව ඈ දිව ආවාය ..

මටද විටින් විට සිඟිති අතින් කෑල්ල කෑල්ල කඩා කවමින් මගේ උරය අනික් අතින් බදා ගනිමින්, වෙසක් කූඩු බලමින්, සිනා සෙමින් අපමණ සැහැල්ලුවකට මා පත් කරමින් ඈ හිඳියි..


" ඉන්නකෝ අපි තොරණ පැත්තට යමු මොනවා හරි කාල , මන් පුතාට තොරණ පෙන්නන්නම්.  හා......ද සුදු මැණික ? "


" හා තාත්ති .." මගේ උරයට හිස තබා නිදා හුන් ඇය පවසයි ..



රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අයිස් ක්‍රීම් එකක්ද අරන් දී ( ඔව් ඔව් හොඳ නැහැ කියල දන්නවා ඒ උනාට ඉල්ලද්දී නොදී ඉන්න පුලුවන්ද ) තොරණ දෙසට මාත් දෝණියත් ඇවිද ගියාය ..


" අනේ තාත්ති තව ලඟට යන් "
" ඒක හරි ෂෝයි "

තොරණෙ විස්තර ප්‍රචාරක කුටිය අසලට මා ගියේ එහි හුන් කවි කියන ඈයන්ද පෙන්වීමේ අරමුණෙනි .

ඒ දසුන දෝණිගේ හිත තදින්ම සොරා ගෙන තිබිණි ..

" ඇයි තාත්ති එයාල කවි කියන්නේ ? "

 " තොරණ බලන්න එන අයට පින් සිද්ද වෙන්නනේ රත්තරන් "


එක් එක් පුද්ගලයන් එන, යන  සැටිත් , කිවිඳියන් කවි කරන සැටිත් , රබාන වයමින් විරිඳු කියන සැටිත් ඈ අසාවෙන් බලා හිඳිනා නිසා මා ඇය බිමින් තැබුවේය .

ටික වෙලාවක් බලා සිටි  ඈ විරිඳු කියන මහතෙකු ලගට ගොස්


" මාමේ මාමේ, මේ දහය ( මා බොම්බයි මොටයි ගැනීමට දුන් මුදලින් ඉතුරුව ඇයට ලැබුණු මුදල් ) ඇති වෙයිද දිව්‍ය ලෝකේ ඉන්න මගේ චූටි  අම්මිට පින් සිද්ද වෙන්න කවියක් කියන්න ? " යැයි ඇසුවාය ..


එතැන සිටි සියල්ලන්ද කර කියා ගත නොහැකි විය ..


ඒ වදනින් එතෙක් වේලා ඒ දෙස බලා  සිටි මගේ ඇසින් කඳුළු කැට කඩා වැටෙන්නට විය ..



පුංචි මැණිකව වඩා ගත් මා එතනින් පිට විය ...ටික වේලාවකින් මුළු පළාතම දෙවනත් කරවමින්

මෙන්න මේ කවිය ඇසුනි ...









රෝස මලක හැඩට ගුණැති සමන් මලක් පිපුණා
මාමේ මාමේ කවි කියන්න ලොකුද මුදල ඕනා ?
දිවිය ලෝකේ ගිය මෑණිට සෙත් පතන්න ඈ මෙහි අද ආව
පුංචි මලේ කඳුළු ඉනුවා නුඹේ ඒ හඬ ඇසිලා!




ඇතිවූ  දුක නිසා දෝණිය තුරුළු කරන් හැඬු මා හට එතැන් සිට පුරා පැයක් පමණ යන තෙක් මගේ පුංචි රෝස මලත් ,සමන් මලත් වෙනුවෙන් ගැයූ කවි සිහිනයක් මෙන් අද
අමතකව ගොසිනි .. 







මට අමතකව ගිය, අප වෙනුවෙන් ගැයුණු ඒ  කවියක් මෙහි ලියා තබනට ඔබට හැකි වේද ?
http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili