ගඩොලක කතාව 03 father's dreams ( පියෙකුගේ හීන )
මේ කතාව මට කිව්වේ මගේ ගුරුවරයෙක්. ඔහු පේරාදෙණිය සරසවියෙන් බිහි වූ එංජිනේරුවෙක්. වචනය පාවා නොදෙන සැබෑ මනුස්සයෙක්. ඇතැම් දීර්ඝ පාඩම් මධ්‍යයේදී අපිව මෙල්ල කරගන්න බැරි උන දවසක සර් කිව්වා ,
" මේ අහපල්ලා. උඹලා දන්නවද මගේ කතාව. උඹලා දන්නවද දරුවෙක්ව අඩියක් උඩින් තියන්න ගිහින් අඩි ගාණක් පොළොව යට වැළලුනු මනුස්සයෙක් ගැන "
අපි දැනගත්තා සර්ගේ මූඩ් වෙනස් වීමත් එක්ක භයානක දෙයක් වෙන්න යන බව. කේන්ති ගියාම මොහොතක්වත් ප්‍රමාද නොකර " පලයන් පරයා පන්තියෙන් එළියට " කියලා එළවන්න ඔහු පසුබට වෙන්නේ නැහැ.
සර් කතාව පටන් ගත්තා. . . . . . . . . . .
මන් ඉපදුණේ පොළොන්නරුවේ. මගේ තාත්තට ඉඩම් කෑල්ලක් තිබුණේ නැහැ පැළක් අටවගන්න වත්. මාවයි මගේ නංගියි මල්ලිවයි අම්මවයි ජීවත් කලේ ගඩොල් රස්සාවෙන්. අනුන්ගේ පෝරණු වල වැඩට ගිහින් කීයක් හරි හවසට හොයන් එනවා. ගෙදර එනින් ගමන් හාල් ටිකකුයි පොල් ගෙඩියකුයි අරන් එනවා.
හාල් ටිකෙන් රෑට කන්න බතයි ; පොල් ගෙඩියෙන් සම්බෝලෙකුයි හදාගන්නවා. ඒ බත් වේල තමයි අපි 5 දෙනාම කන්නේ.
රෑට නිදාගන්න කලියෙන් නංගිව ඔඩොක්කුවට අරන් මාවයි මල්ලිවයි දෙපැත්තෙන් තියාගෙන ඔලුව අත ගගා ටිකක් ඉන්නවා.
නංගි එහෙමම තාත්තගේ ඔඩොක්කුවේ නිදාගන්නවා. නංගිව වඩාගෙන ගිහින් පැදුරෙන් තියලා අපිටත් කතා කරලා " පුතේ උඹලත් නිදාගනිල්ලා නංගිව බලාගෙන " කියලා ඔලුව අත ගානවා.
උදේට ඇහැරෙනකොට තාත්තා පේන්න නැහැ. ගඩොල් රස්සාවට ගිහින්.
කාලයක් යද්දී අපිට ගමේ මුදලාලිගෙන් ඉඩන් කෑල්ලක් ලැබුණා. ඒකෙ අපේම කියලා වරිච්චි මැට්ටෙන් ගෙයක් හදාගත්තා අපි. ඒ ගෙදර තමයි අපේ ජීවිතේ හැම දේම ලියවුණේ.
කාලයක් යද්දී පුංචි බඩවල් ලොකු වෙන්න ගත්ත නිසා වෙන්න ඇති තාත්තා අපේ ඉඩන් කෑල්ලෙම ගඩොල් කපන්න පටන් ගන්න ඇත්තේ.
මගේ අම්මත් හරි හරියට මහන්සි වෙන්න ගත්තේ ඊට පස්සේ කියන දේ මට දැනුණා. මට විතරක් නෙවේ මගේ පුංචි නංගිගේ හිතටත් ඒ දේ දැනෙන්න ගත්ත නිසා වෙන්න ඇති පුංචි අතින් මැටි ගුලි කර කර අච්චුවෙන් තියන්නේ. මොන තරම් සැරට අව්ව තිබුණත් නංගි නෙවේ අයින් උනේ.
මන් දැකලා තියෙනවා නංගි ගිණි අව්වේ ඉඳගෙන වැඩ කරනවා දකීද්දී තාත්තට දාඩිය වෙනුවට කඳුළු එන හැටි .
"මගේ සුදු මැණිකේ අව්වෙ ඉන්න එපා රන් කැටේ" කියලා නංගිව වඩාගෙන ඉඹිනවා තාත්ත.
මමයි මල්ලියි පුළුවන් හැම වෙලේම තාත්තා එක්ක ගඩොල් රස්සාව කළා. රෑට බත් කාලා ඉවර වෙලා පොත් වල ගණන් හදනවා. නංගිත් අපි එක්ක අකුරු ලියනවා හිනා වේවි.
කාලයක් ගියා මේ විදිහට. ගඩොල් වල අඩි 10 ක් විතර යටට කැපුනම ඊළඟ කණ්ඩියෙන් පස් කපන්න ගන්නවා. ඉඩමේ කට්ටියෙන් කට්ටිය ගඩොල් කැපුනා. පෝරණුවෙන් පෝරණුව පිච්චුණා. අපිත් පංතියෙන් පංතිය විභාග පාස් කරා.
මන් පේරාදෙණිය කැම්පස් එකට තේරුණ දවසේ තාත්තා එක දිගට ඇඬුවා දවසම. "පුතේ උඹ පලයන් . වියදම ගැන උඹ හිතන්න එපා" කියලා කී පාරක් නම් තාත්තා කිව්වද කියලා අදටත් මතකයි. හැම නිවාඩුවටම මන් ගමේ ආවා. ආව වෙලාවේ ඉඳන් ගඩොල් රස්සාවට තාත්තට උදව් උනා. කුප්පි ලාම්පු පත්තු කරගෙනත් වැඩ කරා මන් .
කැම්පස් එකෙත් කාලයක් ගෙවුණා මේ විදිහටම. ටෙලිග්‍රෑම් එකක් ඇවිත් තිබුණයි කියලා හදිස්සියේම ගමට යන්න කියලා පණිවිඩයක් ඇවිත් තිබුණා දවසක් .
ගමට ගියාම දැක්කේ අපේ ගෙදර තිබුණ තාත්තගේ මළ කඳ. අඩුම තරමේ තාත්තගේ මිනිය වත් පොළොව මට්ටමේ තියාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ අපිට. අඩි 12 ක් විතර ගැඹුරටම හාරලා වළක් වෙලා තිබුණු තැනකයි තාත්තගේ මිණිය තිබුණේ. සමාජයේ අපිව එක අඩියක් උස්සන්න තාත්තා අඩි 12 ක් පොළොව යට වැළලිලා හිටපු හැටි දකිද්දී තාමත් ඉවසන්න බැහැ.
උඹලා දන්නවද මළ ගෙදරට ආව මිනිස්සු එහා ඉවුරේ ඉඳන් එබිලා බලන්නා වගේ ඉඳලා හැරිලා යද්දී එන වේදනාව... ? නංගිට දැනුණ වේදනාව ඔහුල ගන්න බැරුව මගේ අතේ එල්ලිලා කියපු දේ උඹලා දන්නවද ?
නිමි !
Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )
ඔබේ පියා ජීවතුන් අතරද ? එහෙනම් මේ මොහොතේම ඔහුට ඇමතුමක් අරගෙන හිතේ තියෙන ආදරය කියන්න. ඔහු මේ ලෝකෙන් යන්න කළින් හිතේ තියෙන හැම දේම කියලා හිත නිදහස් කරගන්න ...
මන් මේ කියන හේතුවේ සත්‍ය අසත්‍ය තාවය මෙතන වැටෙන කමෙන්ට් වලින්ම තේරුම් යයි ඔබට ....



15099537_n.jpg


